(විනීතා එම් ගමගේ)
බ‍්‍රසීලයේ, රියෝ ඩී ජැනයිරෝ නුවරදී පසුගියදා පැවැති අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩ් තරගයේ වයස 20 පහළ තරගයේ දී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික 13 හැවිරිදි සිසුවෙක් සමත් වී ඇත.
මෙම ජයග‍්‍රහණය හිමිකරගෙන ඇත්තේ රාජකීය විදුහලේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මානෙත් බනුල පෙරේරා සිසුවාය.
රටවල් 111 ක සිසු සිසුවියන් 700 කට ආසන්න පිරිසක් සහභාගි වූ මෙම තරගයේ දී බානුල තරඟ වැදුණේ තමන්ට වඩා වැඩිහිටි සිසුන් පිරිසක් සමඟ වීම විශේෂයකි.
එසේ වැඩිහිටි සිසුන් සමඟ තරඟ වැද 13 හැවිරිදි සිසුවෙකු පදක්කමක් දිනාගත් පළමු වතාව ලෙස මෙම ජයග‍්‍රහණය ඉතිහාස ගත වනු ඇත.
තරඟය ජයගෙන යළි මව්බිම වෙත පැමිණීමෙන් පසු ලංකාදීපයට අදහස් දක්වමින් බානුල මෙසේ කීවේය.
‘‘මම ඉගෙන ගත්තේ පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයේ. ශිෂ්‍යත්වයෙන් ලකුණු 189 ක් අරන් රාජකීය විදුහලට ආවා. මගේ අයියා යසිත් රන්දුලත් ශිෂ්‍යත්ව විභාගය සමත්වී රාජකීය විදයාලයට ආ කෙනෙක්. ඔහු ඔලිම්පියාඞ් තරඟවලට සහභාගි වුණා. ඒ නිසා මට පුංචි කාලෙ ඉඳලම ඒවා පුරුදුයි.
මමත් විභාගෙට ලිව්වා. මේ විභාගය තියන්නේ කොළඹ විශ්ව විද්‍යාලයෙන්. රට පුරා මධ්‍යස්ථාන ගණනාවක විභාගය තියල එයින් තෝරා ගන්නා 30 දෙනෙක් අතරින් 12 ක් තෝරනවා. ඉන් පසු ඒ 12 දෙනාගෙන් හය දෙනෙක් තෝරා ඔවුන් මේ තරඟයට යවන්නේ. ඉතින් මේ වසරේ මාව තේරුණා. මම ලිව්වේ 20 න් පහළ තරඟයට. මාත් එක්ක තරඟ කළේ උසස් පෙළ ගණිතය හදාරන අයියලා. ඒත් ලොකු වෙහෙසක් ගන්නේ නැතිව මට තරඟය ජයගත හැකි වුණා.’’ ඔහු කියයි.
ඔහුට තව වසර හයක් විස්සෙන් පහළ තරඟයට සහභාගි වනු ඇත. ඉදිරියේ දි එහි රන් සම්මානය දිනා ගැනීමේ බානුලගේ අදිටන ජය ගන්නට එම කාල සීමාව ප‍්‍රමාණවත් වනු ඇත.
2014 සිට ඔලිම්පියාඩ් තරඟවලට සහභාගි වු ඔහු එහි දී රන් පදක්කම්, රිදී පදක්කම් මෙන්ම ලෝකඩ පදක්කම් රැසක් ද දිනා තිබේ.
දැනට උසස් පෙළ හදාරන අයියා ගේ අඩිපාරේ යමින් උසස් පෙළට ගණිතය හදාරා ඉංජිනේරුවෙක් වීමටත් ජාත්‍යන්තර තරඟවලට සහභාගි වෙමින් ලක්මව රනින් බැබලවීමත් තම අරමුණ බව බානුල කියයි.
මේ ගමනේ දී නොමද සහය දෙන වසන්ත සිසිර කුමාර පෙරේරා පියාණන්, වෛද්‍ය ආර් එස් එල් ලෙනෝරා මෑණියන් මෙන්ම රාජකීය විදුහලේ විදුහල්පති අබේරත්න මහතා, ප‍්‍රමුදිත වික‍්‍රමසිංහ නියෝජ්‍ය විදුහල්පති තුමා මෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයේ ගණිත අංශයේ නිරීෂා මහත්මියත් ආදරයෙන් සිහිපත් කරන බව බානුල පැවැසුවේය.




