(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
2015 පෙබරවාරී 27 වැනිදා වසර 30ක කාලයක් සඳහා පැවැත්වු බැඳුම්කර වෙන්දේසියේදී පර්පචුවල් ටේරෂරීස් සමාගම මිලදී ගත් රුපියල් බිලියන 05ක බැඳුම්කර විකිණීම හා යළි මිලදී ගැනීමේ (sell and buy back) ක්‍රමවේදයට අනුව ද්වීතීයක වෙළෙඳ පොළේ යළි විකුණු බව පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් පැවසීය.
2015 පෙබරවාරී පළමුවැනිදාත් 2016 මාර්තු 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.
පර්පචුවල් ටේරෂරීස් සමාගම වෙනුවෙන් ජනාධිපති නීතීඥ නිහාල් ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම යටතේ සිව්වැනි දිනයටත් සාක්කි දුන් පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා මෙසේද කීය.
පර්පචුවල් ටේරෂරීස් සමාගම, ලංකා බැංකුව සමඟ කළ ගනුදෙනු වලට අදාළ ලේඛන කිහිපයක්ම එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා කොමිසමට ඉදිරිපත් කළේය.
ප්‍රශ්නය- පර්පචුවල් ටේරෂරීස් සමාගම, ලංකා බැංකුව සමඟ ගනුදෙනු කිහිපයක්ම කරලා තියෙනවා නේද?
පිළිතුර- ඔව්.
ප්‍රශ්නය- පර්පචුවල් ටේරෂරීස් සමාගම, ලංකා බැංකුව සමඟ සිදුකර ඇත්තේ කුමනාකාරයේ ගනුදෙනුද?
පිළිතුර- ප්‍රති ගැනුම් ගිවිසුම් (රුචද) ගනුදෙනු
ප්‍රශ්නය- පර්පචුවල් ටේරෂරීස් සමාගම, ලංකා බැංකුව සමඟ එම ගනුදෙනු සිදුකර තියෙන්නේ කුමන ක්‍රමවේදයට අනුවද?
පිළිතුර- විකිණීම හා යළි මිලදී ගැනීමේ (sell and buy back) ක්‍රමවේදයට අනුව.
සාක්කිකරු මේ අවස්ථාවේදී පර්පචුවල් ටේරෂරීස් සමාගම සහ ලංකා බැංකුව සමඟ සිදුකළ ගනුදෙනු වලට අදාළ ‘ඩීල් ටිකට්’ සම්බන්ධ තොරතුරු සාක්කිකරු කොමිසම හමුවේ හෙළි කළේය.
ප්‍රශ්නය- විකිණීම හා යළි මිලදී ගැනීමේ (sell and buy back) ක්‍රමවේදයට අනුව ඔබ ආයතනය ලංකා බැංකුව සමඟ ගනුදෙනු සිදුකළා නේද?
පිළිතුර- ඔව්.
ප්‍රශ්නය- ලංකා බැංකුවට අමතරව ඔබ ආයතනය වෙනත් ආයතන සමඟත් විකිණීම හා යළි මිලදී ගැනීමේ (sell and buy back) ක්‍රමවේදයට අනුව ඔබ ආයතනය ගනුදෙනු සිදුකර තියෙනවාද?
පිළිතුරු- ඔව්.
ප්‍රශ්නය- ඔබ ආයතනය කොපමණ ප්‍රමාණයක ගනුදෙනු ප්‍රමාණයක් සිදු කර තියෙනවාද?
පිළිතුර. රුපියල් මිලියන 200ක පමණ ගනුදෙනු ප්‍රමාණයක් සිදු කර තියෙනවා.
ප්‍රශ්නය- මෙම ගනුදෙනුවලින් ද්වීතීයක වෙළෙඳ පොළට බලපෑමක් සිදු වුණාද?
පිළිතුර- මෙම ගනුදෙනු වලින් ද්වීතීයක වෙළෙඳ පොළට විශේෂ බලපෑමක් සිදු වුණේ නැහැ.
ශ්‍රී ලංකා මහා බැංකුවේ අතිරේක තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ වසන්ත අල්විස් මහතා මහා බැංකුවේ පරිගණක පද්ධතියෙන් ලබාගත් ගනුදෙනු පදනම් කරගෙන පර්පචුවල් ටේරෂරීස් සමාගම ලාබ උපයාගත් බව සඳහන් කිරීම වැරදියි. ඒ බව ඔප්පු කිරීම සඳහා අවශ්‍ය කරුණු ඉදිරියේදී මෙම කොමිසමට ඉදිරිපත් කරනවා යැයි කී පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා ඒ සම්බන්ධයෙන් ප්‍රාථමික ගැනුම්කරුවන්ගේ සංගමය දැනුවත් කළ විද්‍යුත් තැපෑලක් පිළිබඳ කරුණූ කොමිසමට දැනුම් දුන්නේය.
නීතීඥ රොමාලි තුඩාවේ මෙනෙවියගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන් පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා මෙසේද කීය.
ප්‍රශ්නය- 2015 පෙබරවාරී මස 27 වැනිදා බැඳුම්කර වෙන්දේසියක් පැවැත්වුවා නේද?
පිළිතුර- ඔව්.
ප්‍රශ්නය- එම බැඳුම්කර වෙන්දේසියේදී බැඳුම්කර නිකුත් කළේ කොපමණ කාලයක් සඳහාද?
පිළි. වසර 30ක කාලයක් සඳහා.
ප්‍රශ්නය- 2015 පෙබරවාරී 27 වැනිදා පැවැත්වු බැඳුම්කර වෙන්දේසියේදී වසර 30ක කාලයක් සඳහා පර්පචුවල් ටේරෂරීස් සමාගම කොපමණ බැඳුම්කර මිලදී ගත්තාද?
පිළිතුර- රුපියල් බිලියන 05ක බැඳුම්කර මිලදී ගත්තා.
ප්‍රශ්නය- 2015 පෙබරවාරී 27 වැනිදා පැවැත්වු බැඳුම්කර වෙන්දේසියේදී ඔබලා වසර 30ක කාලයක් සඳහා මිලදී ගත් බැඳුම්කර ද්වීතීයක වෙළෙඳ පොළේ යළි විකුණුවද?
පිළිතුර- ඔව්.
ප්‍රශ්නය- ඒ කුමන ක්‍රමවේදය අනුවද?
පිළිතුර- විකිණීම හා යළි මිලදී ගැනීමේ (sell and buy back) ක්‍රමවේදයට අනුව.
මේ අවස්ථාවේදී සාක්කිකරු අදාළ ගනුදෙනු පිළිබඳ විස්තර හා ‘ඩීල් ටිකට්’ පිළිබඳ විස්තර කොමිසමට ඉදිරිපත් කළේය.
කොමිසමේ කටයුතු සඳහා පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා කොමිසම අමතමින් අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකථනයෙන් ලබා ගත් 8500ක් පමණ වන දත්ත පී.ඩී.එෆ්. ක්‍රමයට ඉදිරිපත් කරන බවත් එම දත්ත පී.ඩී.එෆ්. ක්‍රමයට පර්වර්ථනය කිරීමට පැය 06ක පමණ කාලයක් ගත වන බවත් දැනුම් දුන්නේය.
වැඩිදුර සාක්කි විමසීම සිදු කෙරේ.
මෙම කොමිසමේ කටයුතු සඳහා අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ආචාර්ය අවන්ති පෙරේරා, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නයෝමී වික්‍රමසේකර, රජයේ නීතීඥ ධනුෂන් කනේෂයෝගන් යන මහත්ම මහත්මීන් සමඟ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා සාක්කි මෙහෙයවමින් කොමිසමේ කටයුතු සඳහා සහය ලබා දෙයි.
පර්පචුවල් ටේරෂරීස් සමාගම වෙනුවෙන් නීතීඥ නෙරංජන් අරූල්ප්‍රගාසම් මහතා සහ නීතීඥ රොමාලි තුඩාවේ මහත්මිය සමඟ ජනාධිපති නීතීඥ නිහාල් ප්‍රනාන්දු මහතාද භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සඳහා පත්කළ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති පී. සමරසිරි මහතා වෙනුවෙන් නීතීඥ ශනිල් පෙරේරා සහ නතාෂා නුර්දීන් මහත්මිය සමඟ නීතීඥ හර්ෂ ප්‍රනාන්දු මහතාද ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් නීතීඥ චානක ද සිල්වා මහතාද කොමිසම හමුවේ පෙනී සිටියහ.

