(නිමන්ති රණසිංහ)
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගත් හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් ප්‍රේමලාල් විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් තාරක සෙනවිරත්න යන අය ලබන 8 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය සහ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කර ඇත.
පොලිසිය බාරයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාව රෝහලේදී නිරීක්ෂණය කළ නුගේගොඩ වැඩ වැඩබලන මහේස්ත්‍රාත් තිස්ස ජයවර්ධන මහතා එම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
එසේම, බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු සහකාර රේගු අධ්‍යක්ෂකවරයාව බදුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සුරේෂ් කුමාර් මහතා රෝහල වෙත ගොස් නිරීක්ෂණය කිරීමෙන් පසු එම සැකකරු රක්ෂිත භාරයට පත් කර ඇත.
අනුරාධපුර සඳහිරු සෑයේ තැන්පත් කිරීම සඳහා රත්තරන් කිලෝ කිලෝ ග්‍රෑම් අටක් බරැති සමාධි බුදු පිළිමයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව සතු රත්රන් ලබාදී සාවද්‍ය පරිහරණය කළැයි සැකකරුවන්ට ඒ දෙදෙනා ඊයේ (27) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබිණි.

