රේගුවේ බහලුම් සේවකයෝ වැඩ වර්ජනයක


(බිඟුන් මේනක ගමගේ) 

රේගුවේ බහලූම් ප්‍රවාහන ක්ෂෙත්‍රයේ සේවකයන් තම දෛනික රාජකාරිවලින් අද (9) සිට ඉවත්වන්නේ යැයි පෞද්ගලික බහාලුම් ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් බී.අයි ආබ්දීන් මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.

බහලූම් පරීක්ෂණය සඳහා භාවිත නව එක්ස් කිරණ යන්ත්‍රයෙන් සෞඛ්‍යමය තර්ජනයක් ඇති බව පවසමින් වර්ජනයේ යෙදෙන බව ඔහු කීය.

මෙම නව එක්ස් යන්ත්‍රයෙන් විශාල සෞඛ්‍යමය හානියක් හා ජීවිතමය හානියක් සිදුවන බව පෙනී ගිය බවත් මේ ගැන විවිධ අවස්ථාවලදී ඉහළ පරිපාලනයට දැනුම් දුන් නමුත් ඉන් පලක් නොවූ නිසා මෙම තීරණය ගත් බවත් යැයි බී.අයි ආබ්දීන් මහතා කීය.

මේ සම්බන්ධයෙන් පෞද්ගලික බහාලුම් ප්‍රවාහන සේවක සංගමය ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට හා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට ලිඛිව කරුණු දැනුම් දුන්නේ යැයි ද එයට පිළියම් සෙවීම සඳහා කඩිනමින් සාකච්ඡාවක් කැඳවන්නැයි ඉල්ලා සිටියේ යැයි ද ආබ්දීන් මහතා කීය.

මෙම කරුණ බහලූම් ප්‍රවාහනය කරන රියදුරන් හා රිය සහයකයන්ට විශාල බලපෑමක් එල්ලකරන්නේ යැයි ද එනිසා බහලූම් ප්‍රවාහන ක්ෂෙත්‍රයේ සේවකයන්ට හානියකින් තොරව රැකියාව කර ගැනීමට වටපිටාව සලසන්නැයි බලධාරින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ යැයි ද ආබ්දීන් මහතා සඳහන් කළේය.