රාහුලේ දිරිය පුතාට විදුදය මහැදුරු අරමුදලක් අරඹයි


ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ පළමු වසරේ උගෙන ගන්නා මාතර තෙලිජ්ජවිල කසුන් චාමරට උපතින්ම මාංශපේශී හරිහැටි නොවැඩීම හේතුවෙන් දෙපයින් නැගී සිටීමට නොහැකිය. ඔහු මාතර රාහුල විද්‍යාලයෙන් උසස් පෙළ ඉහලින්ම සමත් විය. ඔහුගේ පියා විශ්වවිද්‍යාලයේ රියැදුරෙකි. මවට රැකියාවක් නැත. මේ දෙදෙනාට තවත් දරු දෙදෙනෙක් සිටිති. පවුලේ වැඩිමහල් දරුවා වන කසුන් කුඩා කාලයේ සිටම ඉගෙනුමට ඉතා දක්ෂ බවත් ඕනෑම දෙයක් හොඳින් මතක තබා ගැනීමට දක්ෂ බවත් දෙමව්පියෝ කියති. විශ්වවිද්‍යාලය අසල කාමරයක් කුලියටගෙන මාසයකට රුපියල් 7500 බැගින් ගෙවමින් චාමර තම මව සමග එහි සිටිති. අනෙකුත් සහෝදරයන් දෙදෙනාගේ කටයුතු සියල්ලමත් රියැදුරු පියාගේ මාසික වේතනයෙන් ගෙවීමට සිදුවී ඇත. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වානිජ පීඨාධිපති මහාචාර්ය සම්පත් අරමතුංග එහි ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ සාමාජිකයන් හවුල් කරගෙන ඔහුට පිහිටවීමට යයි. ආදි විද්‍යාර්ථීන්ගේ සංමයේ සාමාජිකයන් පිරිසක් විශ්වවිද්‍යාලයට පැමිණ කසුන් චාමර  ශිෂ්‍යයා සමග කතාබහ කළහ. මම ඉගෙන ගන්න හරි ආසයි. මා මේ තත්ත්වයට ගේන්න මගේ අම්මා, තාත්තා ලොකු කැපකිරීමක් කළා. අම්මා හැමදාම මා වඩාගෙන ඇවිත් විශ්වවිද්‍යාලයේ පංති කාමර ළගටම අරන් එනවා. ඒ වගේමයි මාත් එක්ක ඉන්න යාළුවන් මට උදව් කරනවා. මට ගොඩාක් ආර්ථීක ප්‍රශ්න තිබුණත් මම කොහොම හරි පළමු පන්තියේ  ගෞරව උපධියක් ගන්නවාමයි. ඒ සඳහා උපකාර කරන ඔක්කොටම පිංසිද්ධ වෙනවා. පීඨාධිපති මහාචාර්ය සම්පත් අමරතුංගගේ  0714191558 යන දුරකථනයට ඇමතීමෙන් මේ දිරිය උපාධි අපේක්ෂකයා ගැන තොරතුරු දැනගත හැකිය.