රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සෙවීමට ඇමැති අනුකමිටුවක්


(අජන්ත කුමාර අගලකඩ)

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා පිළිබඳව සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට ඇමැති අනුකමිටුවක් කැබිනට් මණ්ඩලය විසින් අද (27) රාත්‍රියේ පත්කරනු ලැබීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (27) රාත්‍රියේ පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී මෙම කමිටුව පත්කර ඇත.

දුම්රිය, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක මේ දිනවල ඇතිව තිබෙන වර්ජන, ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම විශේෂ කැබිනට් රැස්වීම කැඳවා තිබේ.  

වැටුප් විෂමතා පිළිබඳව සොයාබලා වාර්තා කිරීමට පත්කර ඇති කමිටුවට මංගල සමරවීර, රංජිත් මද්දුම බණ්ඩාර, වජිර අබේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, අර්ජුන රණතුංග, හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න යන ඇමැතිවරු ඇතුළත් වෙති.

කමිටුව රැස්වී සාකච්ඡා කර කඩිනමින් වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ දිනවල ඇතිව තිබෙන වර්ජන  රැල්ල පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර මෙය දේශපාලන වාසි ලබාගැනීම සඳහා කරන වර්ජන රැල්ලක් බව ඇමැතිවරුන් කිහිපදෙනෙකුම ප්‍රකාශ කර ඇත.

2015න් පසුව වත්මන් රජය රාජ්‍ය සේවක වැටුප සියයට 107 කින් පමණ වැඩිකර තිබියදී මෙසේ වර්ජන කිරීම අසාධාරණ බවද ඇමැතිවරුන් පෙන්වා දී ඇත.

වර්ජනයේ නිරත වෘත්තීය  සංගම් සමග සාකච්ඡා කිරීමටද කැබිනට් අනුකමිටුවට උපදෙස් දී ඇත.  
ඇමැති අනුකමිටුව හෙට (28) දිනයේ රැස්වී සාකච්ඡා කිරීමටද නියමිතය.