රාජපක්ෂවරුන්ට සහනයක් දිය යුතුයි - ඇමති අමරවීර



(රන්න චන්ද්‍ර සේන ගමගේ)
රාජපක්ෂවරුන් වැරදි කර තිබේනම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂෙණ කළ යුතු වගේම ඔවුන් මේ රටට කළ සේවය ගැන සලකා ඔවුන්ට යම් සහනයක් දිය යුතු බවට මගේ පෞද්ගලික් මතයක් තියෙනවා යයි එක්සත් ජනතා නිදහස් සංධානයේ මහා ලේකම් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (08)දින පැවති  ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ ඇමතිවරයා මෙසේද කීවේය. 
“ඉදිරි මාසය තුළදී රාජපක්ෂ කෙනෙකු අත් අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී වරුන්ට තමා ප්‍රකාශ කොට ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් වරයා මහනුවරදී පවසා තිබෙනවා. මම ඊයේ (07) රාත්‍රී එතුමාට දුරකථනයෙන් කථා කොට මේ සම්බන්ධයෙන් කරුණු විමසා සිටියා. එතුමා මට පැවසුවා රාජපක්ෂ කෙනෙකුට ලැබුණු තොරතුරකට අනුව තමන් එම ප්‍රකාශය කළ බව“
“මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදි සහගත දෙයක්“
“මේ වන විට මා සම්බන්ධයෙන් විශාල කුමන්ත්‍රණයක් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මා සම්බන්ධයෙන් කළ අගය කිරීමෙන් පසුව මට අවලාද බොරු චෝදනා එල්ල කිරීමේ කුමන්ත්‍රණයක් තිබෙනවා .විශාල වශයෙන් මට අන්තර්ජාලය හරහා අපහාස කිරීම් හා අවලාද නගමින් සිටිනවා. එම පියවරේම එක් සැලසුමක් විධියට තමයි මම මේ සිද්ධියත් දකින්නේ“ යයි කී අමරවීර මහතා....
“පසුගියා දා ෆේස්බුක් මෙහෙයවන ප්‍රධානියෙකු සමග මගේ විරුද්ධ වාදීන් එකතු වී මට ගහන්නේ කොහොමද කියල සාකච්ඡා කරල තියෙනවා. මේ පිළිබදව මගේ ළග සියළු තොරතුරු තිබෙනවා. එම සාකච්ඡාවට සමහර මන්ත්‍රී වරුන්ද සහභාගි වී තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගත්තොත් ඉන් ඇති වෙන මහජන කැළඹීමත් සමග මගේ ජීවිතයට පවා හානි කරන තත්වයට මෙම කුමන්ත්‍රණ උත්සන්න වෙලා තියෙනවා“
“රාජපක්ෂ වරුන් සම්බන්ධයෙන් මම කටයුතු කළේ කොහොමද කියලා වගේම මට එරෙහිව දියත්වෙන ක්‍රමන්ත්‍රණයේ තොරතුරු සියල්ල මම ඉදිරි දින කිහිපය තුළ හෙළිකරනවා“ යැයිද අමාත්‍ය මහින්ද අමරවීර මහතා  වැඩි දුරටත් පැවසීය.