රනිල්ට ඉඩක් දෙන්නැයි වජිරගෙන් ඉල්ලීමක්


 

(අංජුල මහික වීරරත්න)

වසරක් තිස්සේ දෑසට නොදුටු ගෑස් ,දෙවසරක් තිස්සේ නුදුටු රසායනික පොහොර දැන් ටිකෙන් ටික ඇසට යළි පෙනෙන්නට පටන්ගෙන තිබෙන හෙයින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මාස හයක් නිරවුල්ව රට ගෙන යන්නට ඉඩ දෙන්නැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

මේ මොහොතේ වෘත්තීය සමිති බෝඩ් ඉස්සුවොත් සිදු වන්නේ නැවත ඩීසල් ,පෙට්රල් නැති වීම යැයි ද එයින් විනාශ වන්නේ තරුණ පරපුරේ අනාගතය යැයිද අබේවර්ධන මහතා කීය.

වෘත්තිය සමිතිවලටත් අයිතිවාසිකම් තිබෙන නමුත් දැන් තිබෙන්නේ  වැටුණු  බංකොලොත් වුණු රටක් බව සියලු දෙනා තේරුම් ගත යුතු බව ද එජාප  සභාපතිවරයා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා  ජනාධිපති ධුරයට පත්වූයේ එතුමාට මෙන්ම රටටත් ඇඳි වත පවා අහිමි වුණ අවස්ථාවක යැයිද රනිල්ට පොඩි ඉඩක් දෙනවා යනු පෙට්‍රල්, ඩීසල්, භුමිතෙල් ප්‍රශ්න විසඳී රට යළි හරි පාරට වැටීම බවද එජාප සභාපතිවරයා කීය.