රනිල් පුතා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වීම ආඩම්බරයක් හා ගෞරවයක් බව ඔහුගේ බාප්පා වන මදුරාවල වැවිලි කරුවෙකු වන විමල් ආනන්ද ජයවර්ධන මහතා කියයි.
බ්‍රිතාන්‍යයේ මහා මැතිවරණයට කොන්සර්වෙටිව් පක්ෂයෙන් ඊසාන දිග හැම්ප්ෂයර් ආසනයට තරග කරමින් සුදු ජාතිකයන් අභිබවා බ්‍රිතාන්‍ය මන්ත්‍රී රනිල් මැල්කට් ජයවර්ධන මහතාගේ පියා වන නලින් ජයවර්ධන මහතාගේ උපන්ගම මදුරාවල සිට එහි ‘ජයන්ති‘ නිවස කරා අප ගියේ ජයවර්ධන පවුලේ වගතුග සොයන්නටය.
ඒ යන විටත් ජයන්ති නිවස ඥාතී හිතවතුන්ගෙන් පිරී ගොස් තිබිණි.
ආනන්ද ජයවර්ධන මහතා මෙසේද පැවසීය.
මගේ තාත්තගේ නම තමයි දොන් දිමිටියස් හෙන්රි ජයවර්ධන, අම්මා තමයි බද්දේගම අබේවික්‍රම පරපුරේ ඩේසි අබේවික්‍රම. අපේ පවුලේ සමාජිකයෝ හය දෙනයි. අක්කගේ නම මල්ලිකා හොරදාගොඩ, හෙන්රි ලක්ෂ්මන් හා අශෝක කියලා අයියලා දෙන්නෙක් ඉන්නවා. ඊට පස්සේ මම මට බාල නංගී දේවිකා.
අපේ තාත්තා ඉපදුණේ 1911.03.30 එයා මුංවත්ත පත්තුවේම ගම් සභාපති විදියට අවුරුදු 10ක් කටයුතු කළා. ඒ 1938 ඉඳන් 1948 දක්වා. එතකොට තාත්තාගේ වයස අවුරුදු 25 කියලයි අපි අහලා තියෙන්නේ. ඊට පස්සේ 1962 සිට 1977 දක්වා මුංවත්ත භාග පත්තුවේ නැගෙනහිර ගම් සභාපති ලෙස කටයුතු කළා. තාත්තා විවාහ වුණේ 1941 ජනවාරී 17 වැනිදා. විවාහයට අත්සන් කරලා තියෙන්නේ එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිටි එස්.ඩබ්ලිව්.ආර්.ඩි.බණ්ඩාරනායක හා සර් ජෝන් කොතලාවල මහත්වරු. ඒ දෙන්නම බද්දේගම හිටපු අපේ මාමා වන සයිමන් අබේවික්‍රම ගේ සම කාලීන අය.
තාත්තා 1970 දී බණ්ඩාරගම කොට්ඨාශයට තරග කිරීමට එවකට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපති වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ඉල්ලා සිටියා ඒත් එයට අවස්ථාව ලැබුණේ නැහැ.
අපි සහෝදරයෝ සියලු දෙනාම අධ්‍යාපනය ලැබුවේ මහනුවර ත්‍රිත්ව විදුහලින්, රනිල් පුතාගේ තාත්තා වන මගේ නලින් සහෝදරයා වැඩිදුර අධ්‍යාපනය සඳහා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලට ආවා. අපේ පවුලේ උසම පුද්ගලයා ඔහුය.
අපේ තාත්තා අයියා එංගලන්තයට යැව්වේ අක්කර පහක රබර් ඉඩමක් විකුණලා. ඒ ගියේ 1978දී.
වසර පහකට පස්සේ අයියා උතුරු ඉන්දියානු සම්බවයක් තියෙන කාන්තාවක් සමඟ විවාහ වුණා. එයාගේ නම ඉන්දිරා දාස්. ඒ 1985 දී ඒ විවාහය ගත්තේ එංගලන්තයේය. එයට සහභාගී වීමට ලැබුණේ මගේ වැඩිමල් අයියා වන හෙන්රි ලක්ෂ්මන්ට විතරයි.
විවාහ වී වසරක් ඉක්මවා යාමට මත්තෙන් මගේ අයියාගේ පවුලට රනිල් ජයවර්ධන පුතා ලැබුණා. ඒ 1986 සැප්තැම්බර් 03 වැනිදා. රනිල් පුතාට තවත් සහෝදයෙක් හා සහෝදරියක් ඉන්නවා. රනිල් පුතා එංගලන්තයේ හැම්ප්ෂයර් ප්‍රදේශයේ පාසලකින් මුලික අධ්‍යාපනය ලබා පසුව ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ආර්ථික හා දේශපාලන විද්‍යා උපාධිය ද ලැබුවා.
එයා පාසල් සමයේ සිටම කොන්සර්වේටිව් පක්ෂය හා ක්‍රියාකාරීව දේශපාලනයේ නිරතව සිටියා.
මීට වසර 24 පෙර අපේ තාත්තා මිය ගියා. ඔහු විමදුරාවල වෙනම ප්‍රාදේශිය බල ප්‍රදේශයක් ලෙස හදා ගත්තා. ඒ වගේම හොරණ ප්‍රදේශයට සීමා වෙලා තිබුණ විදුලි බලය අගුරුවාතොට ගම දක්වා ලබා ගත්තා.
තාත්තා අපේ අයියට දුන්න ඉඩමේ තමයි දැන් අගුරුවාතොට තැපැල් කාර්යාලය තියෙන්නේ. ඒක පොඩි අයියගේ ස්වකැමැත්තෙන් ලබා දුන්නා.
ඒ දවස් වල රයිගම පුරවරයේ ප්‍රභූ පැලැන්තියට එවකට අගමැති සර් ජෝන් කොතලාවල මහතා සාම විනිසුරු තනතුරු දුන්නේ අරලිය ගහ මැදුරට ගොනල්ලයි. මගේ තාත්තාට තමයි මුල්ම සාම විනිසුරුකම ලැබුණේ.
ඇත්තටම රනිල් පුතා ලද ජයග්‍රහණය ගැන හැම අතින්ම ආඩම්බර වෙනවා. අපේ පියාටත් මවටත් ගෞරවයක් වන ලෙස ඔවුන් දෙදෙනාගේ මුනුපුරෙක් එංගලන්තයේ මන්ත්‍රී මණ්ඩලයේ උරුමයක් තියෙන පුද්ගලයෙකු වීම.
රනිල් ජයවර්ධනගේ සීයා වන හෙන්රි ජයවර්ධන - හිටපු ගම් සභාපති
රනිල් ජයවර්ධනගේ මිත්තණිය (හෙන්රි ජයවර්ධනයන්ගේ බිරිඳ) - ඩේසි ජයවර්ධන
මන්ත්‍රී රනිල් ජයවර්ධන ළදරු වයසේදී පියා සහ මවගේ (නලින් ජයවර්ධන සහ ඉන්දිරාගේ) සෙනෙහස ලබමින්
මන්ත්‍රී රනිල් ජයවර්ධන කුඩා කල සිය නැගණිය සමග
මන්ත්‍රී රනිල් ජයවර්ධනගේ පියාවන නලින් ජයවර්ධන (වම්පස කෙළවරේ) පවුලේ සාමාජිකයන් සමග
රනිල් ජයවර්ධනගේ සීයාවන හෙන්රි ජයවර්ධන, ඔහුගේ බිරිඳ හා පවුලේ දූ දරුවන් (පිටුපස පේළියේ වම්පස කෙළවරේ සිට දෙවැන්නා රනිල්ගේ පියාවන නලින් ජයවර්ධන)
රනිල් ජයවර්ධන කුඩා කාලයේ ලංකාවට පැමිණ සිටියදී සංචාරයක නිරතවී සිටියදී පවුලේ අය සමග ගත් ඡායාරූපයකි (රනිල් කළු ඉරි සහිත ටී ෂර්ටයකින් සැරසී සිටී)
රනිල් කුඩා කල ලංකාවේ සංචාරයකට පැමිණිවිට ලබාගත් ඡායාරූපයකි (රතු පැහැති ටී ෂර්ටයකින් සැරසී සිටින්නේ රනිල් ජයවර්ධනයි)
විස්තර ලබාදුන් මන්ත්‍රී රනිල් ජයවර්ධනගේ බාප්පා විමල් ආනන්ද ජයවර්ධන










