රන්මැලි සෑය උඩින් ඩ්‍රෝනය යැවූ තරුණයා නිදහස්


(  උපාලි ආනන්ද )

අනුරාධපුර රත්නමාලි චෛත්‍යයට ඉහළ අහසේ ඩ්‍රෝන කැමරාවක් ගුවන් ගත කිරීමෙන් පසුව එම ඩ්‍රෝන යානය චෛත්‍යයේ ගැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි  සැකකාර තරුණයා එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර මුදා හරින ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.

මෙසේ නිදොස් කොට නිදහස් කර මුදා හරිනු ලැබුවේ අලවතුගොඩ වැලිපාර ඊ.එමි.චතුර ඒකනායක නැමැත්තායි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් සැකකාර තරුණයා මුදා හැරිමට මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

සැකකරු කප්රුක් පූජාවකට පැමිණි අවස්ථාවේ ඔහුට අයත් ඩ්‍රෝන යානයක් ගුවන් ගත කර ඇති  බවත් පසුව එම කැමරාව ඔහුගේ පාලනයෙන් මිදී ගොස් රත්නමාලි චෛත්‍යයේ කොත් කැරැල්ලෙහි ගැටී දෙවනුව දේවතා කොටුවේ ගැටී පසුව සෑමලූවට පතිත වී ඇති බවත් පොලිසිය මීට පෙර අධිකරණයට දැන්වීය.
 
ඩ්‍රෝන කැමරාව ගැටීම නිසා රත්නමාලි චෛත්‍යයට කිසිදු හානියක් සිදුව නැති බව මූලික පොලිස් විමර්ශනවලදි අනාවාරණය වූ  බවද පොලිසිය පැවසීය.

ඩ්‍රෝන කැමරාව ගැටීම නිසා චෛත්‍යයට හානියක් සිදු වී ඇද්ද යන ස්ථීරවම තහවුරු කර ගැනීම සදහා පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ද විමර්ශනයක් කරනු ලැබූ අතර ඉන් කියැවුණේ  ඩ්‍රෝන කැමරාව හේතුවෙන් රත්නමාලි චෛත්‍යයට කිසිදු හානියක් සිදුව නැති බවයි.