රන්පදක්කම් 78 ක් සමග සමස්ත ශූරතාව බස්නාහිර පළාතට


මලල ක‍්‍රීඩාවෙන් නව තරග වාර්තා හතක් වාර්තා වූ 38 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙල ඊයේ (2) නිමාවට පත්විය. මෙවර ක‍්‍රීඩා උළෙලේත් කිසිදු අපහසුවකින් තොරවම බස්නාහිර පළාත ජයග‍්‍රහණය කළේය. සුගතදාස ක‍්‍රීඩාංගනයේ දී දින තුනක් පුරා පැවැති මලල ක‍්‍රීඩා තරගාවලියේ දී මීටර 100X4 සහය දිවීමේ ඉසව් දෙකේ දී කාන්තා සහ පිරිමි කණ්ඩායම් 5ක් තරග නීති රීති උල්ලංඝනය වන පරිදි ධාවනයේ යෙදීම නිසා තරගයෙන් ඉවත් කරන ලදී. මීටර් 100X4 කාන්තා ඉසව්වෙන් වයඹ හා බස්නාහිර යන පළාත් කණ්ඩායම් ද මීටර 100X4 පිරිමි ඉසව්වෙන් ඌව, දකුණ හා නැගෙනහිර යන පළාත් කණ්ඩායම් ද තරග වැදීමෙන් පසු තරගයෙන් ඉවත් කරන ලද සහය දිවීමේ කණ්ඩායම් වෙති. සීමා ප‍්‍රදේශයෙන් පැන යෂ්ටි හුවමාරු කිරීම ඔවුන්ට එල්ලවූ ප‍්‍රධාන චෝදනාවයි. උස පැනීම පිරිමි ඉසව්වෙන් මංජුල කුමාර (දකුණ මීටර 2.23), මීටර් 800 හා මීටර් 1500 කාන්තා ඉසව්වලින් එන්.එම්.පී. දිල්රුක්ෂි (වයඹ විනාඩි 2 තත්ත්පර 07.10 හා විනාඩි 4 තත්තපර 20.25), මීටර 400 කඩුලූ පැන දිවීමේ (කාන්තා) ඉසව්වෙන් ඩබ්.කේ.එල්.ඒ. නිමාලි (දකුණ විනාඩි 1.00.85), මීටර 5000 පිරිමි ඉසව්වෙන් ජී.වී.ඒ. අබේරත්න (දකුණ විනාඩි 16 තත්ත්පර 51.55), උස පැනීම කාන්තා ඉසව්වෙන් ප‍්‍රියංගිකා මධුවන්ති (වයඹ මීටර 1.79) හා මීටර 100X4 පිරිමි ඉසව්වෙන් දකුණු පළාත් කණ්ඩායම (තත්ත්පර 40.43) මෙවර 38 වැනි ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ දී නව තරග වාර්තා පිහිටුවූහ. නිමාවට පත්වූ ක‍්‍රීඩා උළෙලේ දී බර ඉසිලීමේ ඉසව්වෙන් කාන්තා හා පිරිමි නව ශ්‍රී ලංකා වාර්තා හතර බැගින් සටහන් විය. එහිදී වාර්තා වූ බර ඉසිලීමේ නව තරග වාර්තා ගණන 24කි. පිහිනුම් ඉසව්වෙන් කාන්තා නව තරග වාර්තා තුනක් ද පිරිමි නව තරග වාර්තා පහක් ද බිහි විය. මෙවර මලල ක‍්‍රීඩා තරගාවලියේ දී දකුණු පළාතේ මංජුල කුමාර හා වයඹ පළාතේ ජානි චතුරංගනී ද සිල්වා දක්ෂතම ක‍්‍රීඩකයා හා ක‍්‍රීඩිකාවට හිමි සම්මාන ලැබූහ. ඔවුන් දෙදෙනා උස පැනීම (පිරිමි) හා මීටර 100 (කාන්තා) ඉසව්හි රන් පදක්කම් ලාභීන් වෙති. මෙවර ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ වේගවත්ම ක‍්‍රීඩිකාව බවට ජානි චතුරංගි (තත්. 11.78) පත්්වූයේ ඇයගේ ප‍්‍රතිවාදිනිය වන සුජානි බුද්ධිකා (තත්ත්පර 11.88) පරාජය කරමිනි. ශ්‍රී ලංකාවේ වේගවත්ම ක‍්‍රීඩකයා බවට පත්වූ මොහොමඞ් සෆ්රාන් රන් පදක්කම දිනා ගත්තේ තත්ත්පර 10.64කට ය. නිමාවට පත්වූ මලල ක‍්‍රීඩා තරගාවලියේ දී වැඩිම රන් පදක්කම් ගණනක් (11) දිනා ගත්තේ දකුණු පළාත විසිනි. 38 වනජාතිකමහාකී‍්‍රඩාඋළෙල - 2012 සමස්ත පදක්කම්සටහන       රන්        රිදි        ලෝකඩ 01 බස්නාහිර පළාත            78        53        52 02 මධ්‍යමපළාත                35        42        36 03 වයඹ පළාත                 28        27        29 04 දකුණු පළාත                 25        29        40 05 උතුරු මැද පළාත         14        12        23 06 සබරගමුව පළාත             12        16        39 07 ඌව පළාත                 05        14        20 ඡායාරූප : ශාන්ත රත්නායක විසිනි