රතුපස්වල කම්හල ටිකෙන් ටික බියගමට


 වැලීවේරිය රතුපස්වල  නැඳුන්ගමුව පිහිටි වෙනීග්‍රොස් රබර් අත්වැසුම් කම්හළ බියගම ආයෝජන කළාපයට ගෙනයන බවත් එහි  නිෂ්පාදන කටයුතු සිදු කළ  යන්ත‍්‍රාගාර පහෙන් තුනක් ගලවා ඉවත්කිරීමේ  කටයුතු මේ දිනවල  සිදු කරමින් පවතින  බවත් එහි කළමනාකාර අධ්‍යක්ෂක ආචාර්‍ය මහේෂ රණසෝම  මහතා  අද එසැනට  පැවසුවේය.

නැඳුන්ගමුවේ  අක්කර පහලොව හමාරක පමණ  භූමි භාගයක මෙම කර්මාන්තශාලාව පිහිටා ඇතත් බියගම ආයෝජන කලාපයෙන් මෙය ස්තාපනය කිරීම සඳහා ලැබී ඇත්තේ අක්කර පහක ඉඩ ප‍්‍රමාණයකි.

නැඳුන්ගමුවේ  පිහිටි කර්මාන්ත ශාලාවේ ඇති මුළු යන්ත‍්‍රාගාර ගනන පහකි.  

බියගම ආයෝජන කලාපයේ මේ සඳහා වෙන්කර ඇති ඉඩ ප‍්‍රමාණය අනුව  මුලින්ම එහි සවිකිරීමට හැකිවන්නේ මින් යන්ත‍්‍රාගාර තුනක් බවත් ඉතිරි යන්ත‍්‍රාගාර දෙක ඉතිරි  ඉඩ ප‍්‍රමානයේ සවිකිරීමට හැකිවන ලෙස නවීකරණය කළ යුතු බැවින් එම කටයුතු අවසන් කිරීම සඳහා යම් කාලයක් ගත වන  බවත්  ඔහු පැවසුවේය.

කෙසේ වෙතත් සියළු යාන්ත‍්‍රාගාර නැඳුන්ගමුවෙන් ඉවත්කිරිමට තම ආයතනයේ පාලනාධිකාරිය තීරණය කර ඇති බවත් කීය.

මෙම යන්ත්‍ර සුත්‍ර  නැවත සවිකිරීමට හැකිවන අයුරින්  ගැලවීම ඉතා අසීරු කටයුත්තක් බවත්  ඒවා යළි සවිකිරීමද එකින් එක කළ යුතු  බවද ඔහු කීවේය.

 කෙසේ වෙතත් එක් යන්ත‍්‍රාගාරයක් හෝ  බියගම ආයෝජන කලාපයේ ස්ථාපනය කළ පසු  ලබන ජූලි මාසයේ පමණ  මෙතෙක් නවතා දමා ඇති නිෂ්පාදන කටයුතු ඇරඹීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා කීවේය.

රතුපස්වල ප‍්‍රදේශයේ ජල දූෂනයට තම ආයතනය වග කිවයුතු බව මෙතෙක් කිසිදු  පරීක්ෂන වාර්ථාවකින් ඔප්පු වී නැති බවද කී  ඒ මහතා පැවසුවේ තවදුරටත් මෙම කර්මාන්ත ශාලාව පවත්වාගෙන යාමට ගැමියන් තුළ පවතින දැඩි විරෝදය හේතුවෙන් ඔවුන් ගැන සිතා මෙම තීරණය ගත් බවයි.