රට සල්ලි තොගය රාජ සන්තකයි


රුපියල් පනස් ලක්ෂ අනු දහස් හයසිය හැට හයක් වටිනා යුරෝ සහ ඇමරිකානු ඩොලර්  තොගයක්  තම අත් බෑගයේ ව්‍යාජ පතුලක සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණි  ශ්‍රී ලාංකික කාන්තාවකට රුපියල් ලක්ෂයක දඩ නියම කළ රේගුව එම මුදල් තොගය රාජසන්තක කළේය.

මේ පිළිබඳ රේගු පරීක්ණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක  ජේ.ඒ.ඩී.ඒ පෙරේරා මහතා විසින් සිදු කළේය.

අත්අඩංගුවට ගනු ලැබූ විදේශ මුදල් අතර යුරෝ දහසය දහස් හාරසිය හතලිහක් සහ ඇමරිකානු ඩොලර් දහසය දහසක් තිබූ බව රේගුව කියයි.

රේගු මාධ්‍ය  ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා පැවසුවේ ඇය නිතර නිතර ඉන්දියාවට යන එන කාන්තාවක් බවත් පසුගිය සති දෙක ඇතුලත පමණක් හතර වතාවක් ඉන්දියාවට ගොස් ඇති බවයි.

ඇය කොළඹ ජම්පටා වීදියේ පදිංචි තිස්පස් හැවිරිදි කාන්තාවකි.

නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන ඩී.ඩී.එස්.සී මයිකල් සහ කීර්ති අබේසේකර යන නිලදාරීන් විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිලිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්දන මහතාගේ  අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ජේ.ඒ.ඩී.ඒ පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන්  රේගු අධිකාරී ඩී. පෙරිම්බනායගම් සහ නියෝජය රේගු අධිකාරීවරුන් වන ඩී.ඩී.එස්.සී මයිකල්, කීර්ති අබේසේකර යන නිලධාරීහු සිදු කරති.