(මනෝප‍්‍රිය ගුණසේකර)
සුඛෝපභෝගි මෝටර් රථයක් පවරා දීමේ පොරොන්දුව මත රුපියල් ලක්‍ෂ 54ක මුදලක් ලබා ගෙන වංචා කිරීම සම්බන්ධයෙන් වාරීමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාට එරෙහිව පවරා ඇති නඩුව පවත්වාගෙන යෑමට හැකියාවක් නැති බවට ඒ මහතා ඉදිරිපත් කර ඇති මුලික විරෝධතාවයක් කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතාට අද (09) ඉදිරිපත් කෙරිණි.
මෙම නඩුව පවත්වාගෙන යෑමට හැකියාවක් නොමැති බවට රංගේ බණ්ඩාර මහතාගේ නීතීඥවරුන් ඉදිරිපත් කර ඇති මුලික විරෝධතාවය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට කාලය අවශ්‍ය බව දැනුම් දෙමින් නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා ඒ සඳහා දිනයක් ලබා දෙන්නැයි කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා මෙම නඩුව ලබන නොවැම්බර් 07 වැනිදා තෙක් කල් තබන ලදී.
සුඛෝපභෝගි මෝටර් රථයක් වසර පහක කාලයකින් පවරා දීමේ පොරොන්දුව මත රුපියල් ලක්‍ෂ 54ක මුදලක් දිනේෂ් රත්නායක නමැත්තාගෙන් ලබාගෙන පොරොන්දු වු පරිදි මෝටර් රථය පවරා නොදී එම මුදල සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කරන ලදැයි විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා ගොනු කරනු ලැබ ඇත.

