රණවිරු ස්ටාර්, තෙවැනි අදියරේ කිරුළ මෙවර හිමිකර ගනු ලැබුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තුෂානි පෙරේරාය. රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ ඩයලොග් ආසියාටා සංවිධානය කළ ජාතික රූපවාහිනිය විකාශය කළ ‘‘රණවිරු ස්ටාර්’’ තරු කිරුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට උරුම කරදුන් මේ ගගන තාරකාවිය සමග අපි මොහොතකට දොඩමළු වෙමු.
තුෂානි, ගායන හැකියාව උරුම කරගත් ඔබ ගුවන් හමුදාවට එක්වුණේ ඇයි?
පාසල් කාලයේ ඉඳලාම මගේ ආසාව සහ හැකියාව තිබුණේ ගායන අංශයටයි. 2004 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තූර්ය වාදක කණ්ඩායමේ ගායන ශිල්පිනියක ලෙස සේවයට එක්වීමට වාසනාව ලැබුණා. එතැන් සිට ආ ගමන තමයි මේ.
ඇයි ගායිකාවක වීම සඳහා ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායමටම එක් වෙන්න හිතුවේ?
පාසල් කාලයේදී පාසලේ තූර්ය වාදක කණ්ඩායමේ හිටියා. එක්තරා අවස්ථාවක කණ්ඩායම් නායිකාව ලෙසද කටයුතු කළා. ඒ පසුබිම සහ හමුදා සේවයට ඇති ගරුත්වය නිසා එලෙසින් එක්වෙන්න ඇති.
තවත් තරු තරග රටේ ඕනෑ තරම් පැවැත්වෙනවා. ඇයි ‘‘රණවිරු ස්ටාර්’’ සඳහාම ඉදිරිපත් වුණේ?
සාමාන්‍ය සේවයකට වඩා අපි නීතිxරීති පද්ධතියක් යටතේ විනයගරුකව කටයුතු කරන්නෙ. ඉතින් ඒ දේවල්වලට අදාළව තමයි කටයුතු කරන්න වෙන්නෙ. ගුවන් හමුදාවේම සංවිධානයෙන් කළ මිෂන් වන් සහ ටූ තරගය නියෝජනය කළා. ඒ නිසාම විදේශ සංචාරයක් යන්නත් ලැබුණා. රණවිරු ස්ටාර් පළමු සහ දෙවැනි අවස්ථා මග හැරී ගියත් තුන්වැනි වටය සඳහා ඉදිරිපත් වන්න ඕනෑ කියලා හිතුවා. විශේෂයෙන්ම අපි වගේ ආධුනිකයින්ට ලැබෙන විශේෂ අවස්ථාවක් වගේම, පුද්ගලිකව මා හිතන විදියට එය ගෞරවනීය අවස්ථාවක්.
අවසන් පස්දෙනා අතරට තේරුණාම මොන වගේ හැඟීමක්ද තිබුණෙ?
කිරුළ ගැන හිතුවෙ නැහැ. නමුත් කුඩා කාලයේ ඉඳලාම ගීතය ජීවිතයට සමීපව තිබූ නිසා මටත් හැකියාවක් තියෙන බව තේරුම් ගියා. නමුත් තරගයක් දෙන්න ඕනෑ කියන සිතිවිල්ලත් තිබුණා.
බොහෝ ‘‘තරු’’ තෝරන වැඩසටහන් අතරින් ඔබ ‘‘රණවිරු ස්ටාර්’’ තරගය ගැන හිතන්නෙ කොහොමද?
මට හිතෙන විදියට, සිංහල සංගීතයට, සාහිත්‍ය වටිනාකම සහ අපේ හැඩය ඉස්මතු කෙරෙන ප‍්‍රාසාංගික වැඩසටහනක් ලෙසයි මා එය දකින්නෙ. මාත් පුද්ගලිකව ඒ සාහිත්‍ය රසය සහ අපේ දේශීය හැඩයට කැමතියි. එහි ඇති විශේෂත්වය එයයි. වෙනත් භාෂාවලින් සහ ඒ ස්වභාවය අනුව ගී ගැයීමේ හැකියාව තිබෙනවා. ඒත් අපේ නිර්මාණ කලාවට මම ආසයි.
කුඩා කාලයේදී මුලින්ම ගීයක් ගැයූ මොහොත මතකද?
එතකොට මම හිටියෙ තුන්වැනි පංතියේ. අපේ පංති භාර ගුරුතුමිය වුණේ කුසුම් රේණු මාතාවයි. දවසක් එතුමිය ගීතයක් ගයන්න පුළුවන් අය ඉන්නවා නම් ඉදිරියට එන්න කීවා. මාත් ඉදිරියට ගියා. මට මතක හැටියට එදා ගායනා කළේ ‘‘චූටි බටිත්තනි, චූටි කුරුල්ලනි පියාසලා අහසේ’’ ගීතයයි.
ඉන්පසු මතකයේ රුඳුණු අවස්ථා මොනවාද?
වයස අවුරුදු 15දී විතර පාසලේ පැවැත්වූ ප‍්‍රසංගයකදී කලාශූරී ලතා වල්පොල මහත්මිය ගැයූ ‘‘මන රංජන දර්ශනීය ලංකා ’’ ගීතය ගායනා කළා. ඒ සමගම නව ජවයක් ලැබුණා. නමුත් ප‍්‍රථම
ප‍්‍රාසාංගික අත්දැකීම ‘‘රණවිරු ස්ටාර්’’ තරගාවලියයි.
‘‘රණවිරු ස්ටාර්’’ තරගය සඳහා ඔබ විවිධ ගීත ගායනා කළා. ඒ අතරින් ඔබ වඩාත් හොඳින්ම ගායනා කළ ගීතය ලෙස ඔබට දැනිච්ච ගීතය කුමක්ද?
ලතා වල්පොල මහත්මිය ගැයූ ‘‘රොන් සොයා පියඹන සමනලියක සේ’’ ගීතයයි.
ඒ නිසාමද ඒ ගීතය රණවිරු ස්ටාර් අවසන් නිමේෂය සඳහා තෝරා ගත්තෙත්?
සහතිකෙන්ම ඔව්.
මේ සියලූ ගීත අතරින් ඔබගෙ හදවතට වඩාත් දැනිච්ච ගීතය කුමක්ද?
සිංහල, බටහිර, හිංදි බොහෝ ගීතවලට ප‍්‍රියයි. ඒ අතරින් ලතා වල්පොල මහත්මියගේ ‘‘හීන හතක් මැද විමනක් සැදුවයි’’ ගීතයට බෙහෙවින් ප‍්‍රියයි.
තුෂානි ඔබ කොහොම කෙනෙක්ද?
බොහොම සැහැල්ලූවෙන් සරලව ජීවත් වෙන්න කැමති කෙනෙක්. ජීවිතයට බලාපොරොත්තු තියෙනවා. ඒත් පොදි බැඳගත් බලාපොරොත්තු නැහැ. කොහොමටත් නිදහසට හරි ආසයි. සංගීතය තමයි මගේ ජීවිතය.
ජීවිතයට ආදරය අවශ්‍යයි නේද?
ඔව්, මේ වන විට මම විවාහ ගිවිස ගෙන තිබෙන්නෙ. සැමියා කෝප‍්‍රල් රංජන් රෝහණ. සේවය කරන්නෙත් ගුවන් හමුදාවේයි.
මේ හමුවෙදි අන්තිමට ඔබට මොනවද කියන්න තියෙන්නෙ?
මෙය ඇත්තටම නොසිතපු මොහොතක්. මේ කිරුළ ලබන්න බොහෝ දෙනෙක් උදව් කළා. විශේෂයෙන්ම ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිඳුන්ට ස්තූතිය පුදන්න ඕනෑ. අපට මේ වගේ අවස්ථාවක් ලැබුණේ එතුමාගේ සංකල්පය නිසයි. ඊළඟට අපේ ගුවන් හමුදාපතිතුමා ඇතුළු සෙසු නිලයන් දරණ සමස්ත ගුවන් හමුදාවටත්, මගේ ගමේ ජනතාවටත්, රටේ ජනතාවටත්, මගේ ආදරණීය දෙමාපියන් මෙන්ම මට ශිල්ප කියාදුන් ගුරුවරු සියලූ දෙනාටම ගෞරවණිය ස්තූතිය පුද කරනවා. මෙය මල් යහනාවක් මතින් ආ ගමනක් නෙවෙයි. දුෂ්කර ගමනක ප‍්‍රතිඵලයක්.