(ඩයනා උදයංගනී)
මෙරට දරුවන් තමන් සතු සියයට සියයක හැකියාවන්ගෙන් ප‍්‍රයෝජනයට ගන්නේ සියයට 58ක ප‍්‍රමාණයක් පමණක් බව ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ යැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයෙන් සහ මානව දර්ශකයෙන් ඉදිරියෙන්ම සිටින්නේ දකුණු පළාත බව මීට දින තුනකට පෙර ලෝක බැංකුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන් බව ද ඇමතිවරයා පෙන්වා දුන්නේය.
බස්නාහිර පළාතේ මුදල් ඇතත් දැනුම හා සෞඛ්‍ය සම්පන්න භාවය නොමැති බව කී ඇමතිවරයා ඒ අනුව දකුණු පළාතේ අයට ආඩම්බර විය හැකි බව ද කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශය මගින් තලවතුගොඩ දියසරු උයනේ දී අද (01) පැවැත්වූ ලෝක ළමා දින පරිසර චාරිකාව සහ පරිසර වැඩසටහන් මාලාවේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.
දැනුම හා සෞඛ්‍ය මට්ටම අනුව මෙන්ම සෑම අතින්ම මෙරට පිරිමි දරුවන්ට වඩා ගැහැණු දරුවන් ඉදිරියෙන් සිටින බව එම වාර්තාවේ දැක්වෙන්නේ යැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
මෙරට දරුවන්ගේ මානව ප‍්‍රාග්ධනය දර්ශකය එනම් සෞඛ්‍ය හා අධ්‍යාපන තත්ත්වයෙන් සියයක 58 ක් පමණක් ප‍්‍රයෝජනයට ගනිද්දී සිංගප්පූරුවේ දරුවන් සිය හැකියාවන් සියයට 88ක් භාවිතා කරන බව එහි දැක්වෙන්නේ යැයි ද ඇමතිවරයා කීවේය.
රටක් ලෙස ඉදිරියට යාමට නම් ඉදිරියේදී එය සියයට 75ක් දක්වාවත් වැඩි කරගත යුතු බව ද ඇමතිවරයා සඳහන් කළේය.
මෙරට දරුවන්ගෙන් සියයට 13 ක් මන්ද පෝෂණයෙන් පෙළෙද්දී සියයට 25 ක් අධි පෝෂණයෙන් පෙලීම භයානක තත්වයක් බව කී ඇමතිවරයා රටට විධිමත් පෝෂණ කි‍්‍රයාවලියක් අවශ්‍ය බව ද කියා සිටියේය.




