මෙරට තත්ත්වය ගැන අර්ජුන මහේන්ද්‍රන්ගේ මතය


(විමුක්ති එස් රුද්‍රිගු)

කොවිඩ් වසංගතය ආරම්භ වන විටත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැටීමට ආරම්භ වී තිබුණා.  ලෝකයේ අනෙක් රටවල් වලට ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවට කොවිඩ් වසංගතයේ බලපෑම එල්ල වූ බව අර්ජුන් මහේන්ද්‍රන් මහතා පවසයි.

දැනටමත් පාලනයෙන් තොර වී තිබෙන මුදල් අච්චු ගැසීම පාලනය කරගැනීමට පනවා ඇති ප්‍රතිපත්ති ආපසු හැරවිය යුතු බව හෙතෙම ප්‍රකාශ කළේය. 

පාස්කු ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකාවේ 2019 වසරේ පූර්ව කොවිඩ් සමයේදී සංචාරක ක්ෂේත්‍රයට එල්ල වූ බලපෑමත් එවකට පත් වූ නව රජය බදු නොසැලකිලිමත් ලෙස කපා හැරීම හේතුවෙන් රජයේ වියදම් සඳහා අවශ්‍ය මුදල් අච්චු ගැසීමට සිදුවීමත් කෘෂි කර්මාන්තය සඳහා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතා කිරීමට තීරණය කිරීමත් වත්මන් ආර්ථික අර්බුදයට බලපෑ බව අර්ජුන් මහේන්ද්‍රන් මහතා ප්‍රකාශ කළේය.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පුරුවේ සිට සී.එන්.එන් පිලිපීන්ස් පුවත් සේවයේ ෆයිනල් වර්ඩ් විශේෂාංගයට සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් මේ බව පැවැසීය.