(වසන්ත චන්ද්‍රපාල සහ යු.විජේසිංහ)
පොතුවිල් මුහුදු මහා විහාරයේ ඉඩම් වල සිදුකරන අනවසර ඉදිකිරීම් නවත්වන්නැයි ඉල්ලමින් නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක පොතුවිල් මුහුදු මහා විහාරාධිපති වරකාපොල ඉන්දසිරි හිමියන් සහ උඩමලත්තේ රතනප්‍රිය හිමියන් විසින් ආරම්භ කළ සත්‍යග්‍රහය අද (02) අවසන් කරනු ලැබූහ.
අනවසර ඉදිකිරීම් නවත්වන ලෙස පෙතුවිල් මහේස්ත්‍රාත් එම්.එච්.මොහොමඩ් මහතා විසින් ලබා දුන් නියෝගයකින් පසුව එම හිමිවරු මෙම සත්‍යග්‍රහය නැවැත්වීමට කටයුතු කළහ.
මුහුදුමහා විහාර භූමියේ අනවසර ඉදිකිරීමක් සිදු වන බවට පුරාවිද්‍යා දෙපාර්මේන්තුවේ නැගෙනහිර සහකාර අධ්‍යක්ෂක මහින්ද කරුණාරත්න මහතා විසින් පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.
අධිකරණ නියෝගය ගැනීමෙන් අනතුරුව පොතුවිල් පොලිස් ස්ථානාධිපතිවරයා සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නැගෙනහිර සහකාර අධ්‍යක්ෂකවරයා අනවසර ඉදිකිරීම් සිදු කරන පුද්ගලයින්ට එම අධිකරණ නියෝග භාරදීම සිදු කළ අතර අනතුරුව එම පිරිස එම ඉදිකිරීම් නැවත්වීමට පියවර ගත්හ.
නැගෙනහිර පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක අම්පාර සමනබැද්ද මහා පිරිවණේ අධ්‍යක්ෂක සිරි දිගනේ සිරි තිලකසිරි,අම්පාර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි උක්සිරිපුර විදුහලේ විදුහල්පති ඇතිමලේ ආනන්ද හිමි,හිගුරාන උත්තර ජයමහා විහාරාධිපති හිගුරානේ සිරිධම්ම හිමි ඇතුලු හිමිවරුන්ද ඊයේ ( 01) ඇරැඹු සත්‍යග්‍රහයට එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක පොතුවිල් මුහුදු මහා විහාරාධිපති වරකාපොල ඉන්දසිරි හිමි.
‘‘අපි දින දෙකක සිට සත්‍යග්‍රහයක් ආරම්භ කරා පොතුවිල් මුහුදු මහා විහාරයට අයිති ඉඩම් වල අනවසර ඉදිකිරීම් නවතන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත්ව අධිකරණ නියෝගයක් අරගෙන මෙම ඉදිකිරීම් තාවතාලිකව නතර කරා.
වසර 2000 කට වඩා පැරණි ඉතිහාසයක් තියෙන විහාරමහාදේවි ගොඩ බැස්ස ස්ථානය තමයි මුහුදු මහා විහාරය කියන්නේ.
මෙම මුහුදු මහා විහාරයට අක්කර 72 ක් පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් පරණවිතාන මහතාගේ කාලයේ වෙන් කරලා තියෙනවා.
නමුත් අද වන විට පන්සලට ඉතුරුවෙලා තියෙන්නේ අක්කර හතරක් විතර අනිත් ඒවා අන්තවාදීන් අල්ලගෙන .පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දුර්වලකම නිසා තමයි මුහුදු මහා විහාරයට මේ තත්වය උදාවෙලා තියෙන්නේ. ඒක නිසා අපි වර්තමාන පුරාවිද්‍යා අධ්‍යක්ෂක පී.බි.මණ්ඩාවල මහතාගෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා මුහුදු මහා විහාරයේ ඉඩම් ගැටලුව නිරාකරණය කරන්න කියලා.
ඉදිරියේ මෙම ගැටලුව නිරාකරණය පියවර නොගත්තොත් අපි මරාන්තික උපවාසයකට යන එක කාටවත් නතරකරන්න බැහැ. යැයිද උන්වහන්සේ සඳහන් කළහ.





