( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මුතුරාජවෙල අභය භූමියට කුණු බැහැර කිරීම හෝ කුමන ආකාරයේ කසල එකතු කිරීමෙන් කොළඹ මහනගර සභාව ඇතුළු බලධාරීන් වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) තීන්දු කළේය.
ඒ අනුව ලබන සැප්තැම්බර් 21 වැනිදා තෙක් මෙම අතුරු නියෝගය බල පැවැත්වේ.
මුතුරාජවෙල අභය භූමියට කුණු බැහැර කිරීම , වැලි ගොඩ දැමීම , පස් කැණීම ,පිරවීම හෝ කුමන ආකාරයෙන් හෝ කසල රැස්කිරීමෙන් කොළඹ මහනගර සභාව හා එහි නාගරික කොමසාරිස් ඇතුළු බලධාරීන් පිරිසක් වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අද (03) කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය යළිත් දීර්ඝ කළේය.
මුතුරාජවෙල අභය භූමියට කසල බැහැර කිරීමට එරෙහිව වත්තල ප‍්‍රදේශවාසීන් කිහිපදෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු බුවනෙක අළුවිහාරේ , සිසිර ද ආබෲ සහ අනිල් ගුණරත්න යන මහත්වරුන්ගෙන් යුතු ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන සැප්තැම්බර් 21 වැනිදා කිරීමට ද තීන්දු කරන ලදී.

