මිලියන 40 ක මුදල් අවභාවිතයක් ගැන අභ්‍යන්තර විමර්ශනයක්


(දසුන් රාජපක්ෂ )
සංචාරක කර්මාන්තය නගාසිටුවීමට ප්‍රවර්ධන කටයුතු සිදුකරන බව පවසා රුපියල් මිලියන 40කට ආසන්න මුදලක් අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කළ බව සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අද (12) ප්‍රකාශ කළේය.
 
පසුගිය ආණ්ඩුව සංචාරක කටයුතු නිසි සැළැස්මක් අනුව ක්‍රියාත්මක නොකිරීම නිසා විදේශීය රාජ්‍යන්හි ස්ථාපිත කොට තිබුණු සංචාරක මණ්ඩලයට අයත් අනු කාර්යාල බොහොමයක් මේ වන විට වැසී ගොස් ඇති බවද අරුන්දික ප්‍රනාන්දු මහතා සදහන් කළේය.
 
සංචාරක ක්‍ෂේත්‍රයට අදාළ ප්‍රවර්ධන කටයුතු නිසි ආකාරව සිදු නොවන නිසා මෙරට සංචාරක හෝටල් විසින් බදු මුදල් ගෙවීම් පැහැර හරිමින් සිටින අතර එම තත්ත්වය මගහරවා ගැනීම සදහා අදාළ හෝටල් සමග සාකච්ඡා කොට එකගතාවයකට පැමිණීමට බලාපොරොත්තු වන්නේ යැයි ඔහු පැවසීය.
 
 කඩා වැටී තිබෙන සංචාරක කර්මාන්තය නගාසිටුවීම පිණිස සියළුම තානාපති කාර්යාලවලට සුදුසුකම් සහිත සංචාරක කටයුතු ප්‍රවර්ධන නිලධාරීන් දෙදෙනා බැගින් පත් කිරීමට නියමිත බව ඒ මහතා වැඩිදුරටත් කීය.