මිරිහාන පරීක්ෂණ උසාවියට සැකයි


වාද්දුව පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය සැකකරුගේ මරණයට හේතුව තැලීම් තුවාල බවට පානදුර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩී.බී. දසනායක මහතා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු කර ඇති බව පානදුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතා ප‍්‍රකාශ කළේය.
මිරිහාන පොලිස් විශේෂ මෙහෙයුම් ඒකකය මගින් මෙතෙක් සිදු කළ විමර්ශන සම්බන්ධයෙන් බැලූ බැල්මට අධිකරණයට බරපතළ සැකයක් මතු වන බවත් මහේස්ත‍්‍රාත්වරයා ප‍්‍රකාශ කළේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීනව සහ මනා විනිවිද භාවයකින් වෙනමම විශේෂ විමර්ශනයක් වහාම රහස් පොලිසිය මගින් සිදු කරන ලෙස ද මෙහිදී ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් වැලිවත්ත මහතා පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට නියෝග කළේය.

 


මින්නේරිය, රත්මලේ අංක 72/2 ලිපිනයේ පදිංචි වීරසිංහ ආරච්චිලාගේ සමන් වීරසිංහ නමැති සැකකරු වාද්දුව පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගියේය.
ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් වැලිවත්ත මහතා තවදුරටත් අධිකරණයේ රෙජිස්ට‍්‍රාර්වරයාට නියෝග කෙළේ, අධිකරණ නියෝගය සමග පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ පිටපතක් ද පොලිස්පතිවරයාගේ අවධානය සඳහා යවන ලෙසයි.
සැකකරුගේ මරණය සම්බන්ධයෙන් සාපරාධි ක‍්‍රියාවක් සිදුවී නොමැති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව මිරිහාන පොලිස් විශේෂ මෙහෙයුම් ඒකකය මීට පෙර වරින් වර අධිකරණයට ප‍්‍රකාශ කර ඇති බව පෙන්වා දුන් මහේස්ත‍්‍රාත්වරයා, එය පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට හාත්පසින්ම  විරුද්ධ බවද කීය.
සැකකරු මියගොස් ඇත්තේ මරණය තැලීම් තුවාල හේතුවෙන් නිසා යැයි ද කියා සිටි වැලිවත්ත මහතා, සැකකරුගේ ශරීරයේ තිබූ තුවාලවල ස්වභාවය අනුව ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිස් විශේෂ මෙහෙයුම් ඒකකය මෙතෙක් සිදු කළ විමර්ශණ සම්බන්ධයෙන් අධිකරණයට බැලූ බැල්මට බරපතළ සැකයක් මතු වන බව ද සඳහන් කෙළේය.
 

නිවසක් බිඳ රුපියල් හත් ලක්ෂ දස දහසක් සහ භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු වාද්දුව පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ 2013.06.16 වන දිනයි.
සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරීන් සමග පොර බදා බිම ඇද වැටුණු බවත්, පසුව ඔහු පොලිසියේදී රෝගාතුරවීම නිසා රෝහල කරා ගෙන යද්දී මියගිය බවත් පොලිසිය මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් කියා තිබිණ.
මෙම මරණය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු බස්නාහිර දකුණ බාර නියෝජය පොලිස්පති නියෝග මත නුගේගොඩ සහකාර පොලිස් අධිකාරි විජිත ගුණසේකර මහතාගේ අධීක්ෂණය යටතේ මිරිහාන පොලිස් විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිමල් කරුණාරත්න මහතාගේ මෙහෙයවීම යටතේ සිදුවිය.