මහින්දගෙන් ප්‍රශ්න කරනවාට මන්ත්‍රී පිරිසක් රනිල්ට දෙහි කපති


මහින්ද රාජපක්ෂ ජනපති අල්ලස් කොමිසමට නොකැඳවන ලෙස ඉල්ලමින් විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී අද (20) දිගින් දිගටම කථා කළහ. මන්ත්‍රී වරප්‍රසාද යටතේ කරුණු දැක්වූ අය අතර විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන මහත්වරුද වූහ.

යුද්ධය අවසන් කර රටට කීර්තියක් ගෙනදුන් මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අල්ලස් කොමිසම හමුවට ගෙන යාම හෙළා දකින බවත් ඔහු එහි ගෙන ‍නොයන බවට ස්ථිර ප්‍රතිඥාවක් රජයෙන් අවශ්‍ය බවත් ඔවුහු කියා සිටියහ.

වාසුදේව නානායක්කාර හා විමල් වීරවංශ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව දැඩි දෝෂාරෝපණයට ලක් කළහ. අගමැති කුහක වැඩ කරතියි වාසුදේව නානායක්කාර මහතා කීවේය. අගමැතිගේ ඕනෑකමට රාජපක්ෂ මහතාට හිරිහැර කරන බව බන්දුල ගුණවර්ධන මහතා කීවේය. රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු දෙමින් පැවසූයේ තමා මේ ගැන කිසිත් නොදන්නා බවයි.

‘අල්ලස් කොමිසමේ වැඩට රජය ඇඟිලි ගහන්නේ නෑ. එය ඔවුන්ගේ ස්වාධීන තීරණයක්. ඔහු කැඳවා ඇත්තේ සාක්කියක් ගැනීමට බවයි පෙනෙන්නේ. මොකක්ද ප්‍රශ්නය? ප්‍රශ්නයක් ඇත්නම් රාජපක්ෂ මහතාගේ නීතිඥවරුනට නිසි පියවර ගන්නට පුළුවන්.‘

මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට නොගෙන යන්නැයි කෑ කෝ ගසමින් පාර්ලිමේන්තු සභා ගර්භයේ වාඩිවූ අය අතර සජින් වාස් ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, දිනේෂ් ගුණවර්ධන, නාමල් රාජපක්ෂ, උදිත ලොකුබණ්ඩාර, වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ මහත්වරුද වූහ. අඩු ගණනේ තිස් දෙනකුවත් සභා ගැබේ බිම වාඩිවී සිටියහ.

සභාව කල් තබා කථානායක සෙංකෝලය ඉවත් කළ පසුද මන්ත්‍රී පිරිසක් එහි බිම වාඩිවී සිටියහ.