(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට අධිකරණයකින් අවසරයකින් තොරව විදෙස්ගත වීම වළකාලමින් නිකුත් කර තිබූ තහනම් නියෝගය ලබන සැප්තැම්බර් මස 04 වැනිද දක්වා තවදුරටත් දීර්ඝ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) දැනුම් දුන්නේය.
හිටපු මහ බැංකු අධිපතිවරුන් වූ අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරුන් අධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගත නොවන බවට අධිකරනයට ලබා දී ඇති පොරොන්දුව එදින දක්වා බලපැවැත්වෙන බව ද අධිකරණය ප්‍රකාශ කළේය.
අක්‍රමිකවත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් ඇති වී තිබෙන මූල්‍ය අර්බුදය පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන ලෙස ඉල්ලා වාණිජ මණ්ඩලය හිටපු සභාපතිවරයකු සහ මහජන ක්‍රියාකාරි චන්ද්‍රා ජයරත්න මහතා ඇතුළු පිරිසක් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (10) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සැලකිල්ලට ගත් ගත් අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය , බුවනෙක අලුවිහාරයේ, එල්. ටී. බී දෙහිදෙණිය, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනිණි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ ඇත්තේ නීතිපති, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්රි සහ හිටපු මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් යන මහත්වරු ඇතුළු 39 දෙනෙකි.
වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් වගකිවයුත්තන් මෙන්ම ඒ සම්බන්ධයෙන් මූලික වූ කරුණු සොයා බැලීමට කමිටුවක් පත් කරන ලෙසට ඉල්ලා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු සහ සමාජ ක්‍රියාකාරිකයකු වන චන්ද්‍රා ජයරත්න මහතා සහ ප්‍රකට පිහිනුම් ශූරයකු වූ ජුලියන් බෝලින් මහතා ඇතුළු පිරිසක් මෙම පෙත්සම්වල පැමිණිලිකරුවෝ වෙති.
මෙම පෙත්සමෙන් නම් කර ඇති වගඋත්තරකරුවන්ගේ අයහපත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය වී ඇතැයි පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් සඳහන් කර ඇත.

