(රංජන් කස්තුරි)
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත නොකිරීම ඇතුළු විශේෂ කරුණු තුනක් සම්මත කර රජයට ඉදිරිපත් කිරීමට ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ සහභාගීත්වයෙන් අද (04) මහනුවරදී පැවති විශේෂ මහා සංඝ සමුළුව ඒකමතික තීන්දුවකට එළැඹී තිබේ.
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම නතර කිරීම ,සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ ගැටළුව කඩිනමින් විසඳීම සහ පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට නියමිත අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත පාර්ලිමේන්තුවේදී සම්මත කිරීම කල් දැමීම යන කරුණු තුන රජයට ඉදිරිපත් කිරීමට එම සංඝ සමුළුවේදී තීන්දු වී තිබේ.
මෙම තීන්දූ අනිද්දා (06) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී බාරදීමට ද නියමිතය.මීට අමතරව ජාතික ආගමික වශයෙන් සිංහල බෞද්ධ ජනතාවට ඇති වී තිබෙන අසාධාරණය පිළිබඳව ද එම සංඝ සමුළුවේදී විශේෂ අවධානයක් යොමුකර තිබේ.
රටතුළ ඇතිවෙමින් පවතින ජාතික ආගමික ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් මෙහිදී ඇති වී තිබේ.පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ආගමික ස්ථාන ආරක්ෂා කිරීම සම්බන්ධව ද එහිදි අවධානය යොමුව තිබේ.
මහනුවර අස්ගිරිය ශ්‍රී චන්ද්‍රානන්ද අනුස්මරණ ශාලාවේදී අද (04) පැවති එම සංඝ සමුළුවට මහා සංඝයා වහන්සේලා 75 නමක් පමණ සහභාගී වී සිටියහ.

