මන්ත්‍රීවරුන්ගේ දුරකතන සංවාද පරීක්ෂා නොකළ බව කොමිසම කියයි


(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ) 
 
බැඳුම්කර නිකුතුව ගැන සොයා බැලූ කෝප් කමිටු  සාමාජිකයින්  පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්   සමඟ දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බවට කොමිසමේදී හෙළි වු කරුණු ගැන දේශපාලනඥයින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ බොහෝමයක්ම පදනම් විරහිත ‍බව බැඳුම්කර කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා  අද (20) කීවේය. 
 
කොමිසමේදී හෙළි වු කරුණු සම්බන්ධයෙන් දේශපාලනඥයින් මාධ්‍ය වෙත කරන ලද විවිධ ප්‍රකාශ කෙරෙහි කොමිසම අවධානය යොමු කළ බව දැනුම් දුන් කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා මෙම ප්‍රකාශ බොහෝමයකටම පාදක වී ඇත්තේ අර්ජුන් ඇලෝසියස් සහ සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ද අර්ජුන් මහෙන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස් අතර ද සිදුවු දුරකතන සංවාද පිළිබඳව යැයිද පැවසීය.
 
කොමිසමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් විසින් අර්ජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස් අතර සිදුවු දුරකතන සංවාද පිළිබඳව සහ අනෙකුත් ඩිජිටල් උපකරණ පිළිබඳව පරීක්ෂා කළේ යැයි සඳහන් කළ සභාපති විනිසුරුවරයා මෙම පරීක්ෂණයෙන් පසුව අර්ජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස් අතර දුරකතන සම්බන්ධතා පැවැත්වු පුද්ගලයින් විශාල පිරිසක් පිළිබඳව නීතීපති දෙපාර්තමේන්තුව හඳුනාගනු ලැබු බවද සඳහන් කළේය.
 
අර්ජුන් මහෙන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස් නමැත්තන්ගේ දුරකතන දත්ත මත පදනම්ව විදුලි සංදේශ සේවා සැපයුම්කරුවන් විසින් සපයන ලද තොරතුරු මත මෙම ක්‍රියාවලිය සිදු කරනු ලැබු බවත් සඳහන් කළ සභාපති විනිසුරුවරයා කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ දුරකතන සංවාද පිළිබඳ තොරතුරු ලබා ගැනීමක් හෝ පරික්ෂා කිරීමක් සිදු නොකළ බවත් සඳහන් කළේය.
 
දුරකතන සංවාද වල අඩංගු වී ඇති දෑ හෝ සංනිවේදනය කරන ලද කිසිවක් සාක්කි වශයෙන් කොමිසම වෙත ඉදිරිපත් නොකළ බවද සඳහන් කළ සභාපති විනිසුරුවරයා සමහරක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දුරකතන සංවාද වලට රහසිගතව සවන්දී තොරතුරු ලබාගත් බවට සමහරක් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශ සම්පුර්ණ අසත්‍ය බවද සඳහන් කළේය.