මඩොල්සිම පවුල් 46 ක් ඉවත් කෙරේ


(නිශාන්ත කුමාර  සහ ඩී. කේ. රත්න)

මඩොල්සිම වතුයායට අයත් ගල්උල්ලවත්ත ඩූමෝ කොටසේ මතුව ඇති නායයාමේ අවදානම් තත්වයක් හේතුවෙන් ලැයිම් කමරවල පදිංචිව සිටි පවුල් 46 ක් ඉවත්කිරීමට අද (01) පියවර ගත් බව  ලුණුගල ප්‍රාදේශීය ලේකම් නිමල් දිසානායක මහතා පැවැසීය.

මෙලෙස ඉවත්කරන ලද  ඩූමෝ කොටසේ හතර හා පහ යන කොටස්වල  පදිංචිව සිටි පවුල් 46 හි සාමාජිකයින් 187 දෙනෙකු  මේ වන විට ගල්උල්ල  දමිළ විද්‍යාලයේ පිහිටුවා ඇති තාවකාලික කඳවුරක රඳවා සිටින බවද ප්‍රාදේශීය ලේකම්වරයා පැවැසීය.

රඳවා සිටින පිරිසේ කාන්තාවන් 98  දෙනෙකු වන අතර ගැබිණි කාන්තාවන් දෙදෙනෙකු හා කිරි දෙන මව්වරුන් සිව්දෙනෙකු  සිටින බව ද ඒ මහතා පැවැසීය.

එම පිරිසට අවශ්‍ය පහසුකම් සැලසීමට ලුණුගල  ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පියවර ගෙන ඇත.