මහනුවර අස්ගිරියේදී පොලිස් නිල සුනඛ මඟුලේ අරමුණ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයකට හානියක් සිදු කිරීම නොවන බවත්, එම වැඩ පිළිවෙළින් යම් කිසිවකුට අපහසුවක් වූයේ නම් පොලිසිය බලවත් කණගාටුව පළ කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
සංස්කෘතික ඇමැති ටී බී ඒකනායක මහතා මේ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර පරීක්ෂණයක් පවත්වන්නැයි පොලිස්පතිට දන්වා තිබිණි.
පොලිස් සුනඛයන් කරකාර බන්දවා පෝරුවට නැංවීමත්, ඒ සඳහා සිංහල සංස්කෘතියේ පාරිශුද්ධ වස්තු ලෙස සැලකෙන පුන්කලස්, ගොක්කොළ හා පොල් මල් යොදා ගැනීමත් ඇමැතිගේ විරෝධයට හේතු විය.
පොලිසිය කියනුයේ ඡායාරූප ගැනීම සඳහා ප්ලාස්ටික්වලින් තැනූ කුඩා පීටිකාවක් මත බලු ජෝඩු නංවා ඡායාරූප ගත් බවයි.
එය මංගල පෝරුවක් නොවන බවත්, ඡායාරූප ගැනීමේ කාර්ය සඳහාම සැරසූ වේදිකාවක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
මේ උත්සවයේ සමහර අංග සිංහල සංස්කෘතියට නොගැලපෙන බව සිංහල රාවය ද තමාට දන්වා ඇතැයි ද, පොලිසිය සැමවිටම සියලු ජනතාවගේ සංස්කෘතිය උරුමයට ගරු කරන බව ද ඔහු කියයි.
නිල සුනඛයන් පිටරටින් ගෙන්වීමට යන ධනස්කන්ධය ඉතිරි කර ගැනීම සඳහාත්, මෙරට දේශගුණයට හා ආහාරවලට හුරු සුනඛයන් හුරු බිහි කිරීම සඳහාත් පශූ වෛද්‍ය නිර්දේශ මත අභිජනනය සඳහා තෝරා ගත් සුනඛයනට අභිජනන සහතික දුන් බවත් ඔහු කියයි.
2011 දී පමණක් නෙදර්ලන්තයෙන් සුනඛයන් ගෙන්වීමට රුපියල් හත් කෝටියක් වැය කළ බව ද, එතෙර ඇදී යන රට සල්ලි ශ්‍රී ලංකාවේ නතර කර ගැනීම මේ ව්‍යාපෘතියේ අරමුණ බව ද ඔහු අවධාරණය කරයි.

