භාවනාවෙන් ශාස්ත්‍රපති උපාධිය


බෞද්ධ දර්ශනයත් විද්‍යාවත්  අතර පවතින සබඳතාවය  ඉන්ද්‍රඛිලයක්  ලෙස සනාථ කරමින්  භාවනාවෙන්  මානව  ස්නායු පද්ධතිය නීරෝගී කළ හැකි බව  සක්සුදක් සේ  පැහැදිළි කර දීමේ  ස්ථිරසාර කාර්යක මූලාරම්භය ජනවාරි  දෙවැනිදා ශ්‍රී ජයවර්ධනපුර  විශ්වවිද්‍යාලයයෙන් ඇරැඹෙන බව ලෝක විශ්ව විද්‍යාල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ  මහාචාර්ය රනිල්ද සිල්වා  මහතා පැවසීය.

මෙහි අරමුණ මනස ස්නායු  වෛද්‍ය විද්‍යාව හා භාවනාව සම්මිශ්‍රණය වු එම් ඒ ශාස්ත්‍රපති උපාධිය ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ප්‍රදානය කිරීමට සූදානම් වීමයි.

ජාත්‍යන්තරව භාවනා පුරුදු පුහුණු කරවන භාවනාවේ බොහෝ අත්දැකීම්   ඇති අමෙරිකා ජාතික සුප්‍රසිද්ධ  ඛේමා  මෙහෙණිය සහ ජිනීවා විශ්ව විද්‍යාලයයේ  වෛද්‍ය පීඨයේ  ස්නායු  වෛද්‍ය  විද්‍යාව පිළිබඳව  මහාචාර්යවරියක වු  කැනඩා ජාතික  ඈන්  කැටෝ මහත්මිය  ජනවාරි දෙවැනිදා  උදේ දහයට  විශ්ව විද්‍යාලයයේ  ශ්‍රී සුමංගල  ශාලාවේදී දේශන දෙකක් පවත්වා මෙම කර්තව්‍යට මුල පුරන බවද මහාචාර්ය රනිල් සිල්වා කීවේය.

සමථ විපස්සනා  භාවනාව පිළිබඳව  ඛේමා මෙහෙණියද ස්නායු පද්ධතිය ඔස්සේ භාවනාවෙන් මනස  පුරවාලීම පිළිබඳව  මහාචාර්ය ඈන්  කැටෝ මහත්මිය ද දේශන පැවැත්වීමට නියමිතව සිටිති.

ඛේමා මෙහෙණිය සහ මහාචාර්ය ඈන් කැටෝ මහත්මිය මෙහි  පැමිණ මෙම කර්තව්‍යට මුල පුරන්නේ  මහාචාර්ය රනිල්ද සිල්වා මහතාගේ ඇරැයුමක් අනුවයි.

එම් ඒ උපාධි පාඨමාලාව සැකැසෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨය සහ පාලි හා බෞද්ධ අධ්‍යාපන අංශය,සහ මොරටුව විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු  අංශය ඒකාබද්ධ කැරගෙනයි.

ඛේමා මෙහෙණිය සහ මහාචාර්ය  ඈන් කැටෝ මහත්මිය 2 වැනිදා පවත්වන දේශනවලට සවන් දීමට කැමැති අයට ඒ සඳහා  සහභාගී විය හැකිය.

වැඩිදුර තොරතුරු සතියේ දිනවල 011-2758697 දුරකතනයෙන් විමසීමට පිළිවන.

ඉංග්‍රීසි බසින් පැවැත්වෙන දේශනයන්හි හරය සිංහල පරිවර්තනයක් ලබා දීමටද සංවිධායකයෝ සැරැසෙති.

Image-1 Image-1l