බොරු ලෙඩ පෙන්වා ලටෙක් ලොක්කා ඇප අරන්


වංචා චෝදනාවකට රිමාන්ඩ් භාරයේ සිටියදී රෝගී බව කියමින් අධිකරණය නොමග යවා කෝටිපති ව්‍යාපාරික ලටෙක් සමාගමේ සභාපති රවී වෙත්තසිංහ ඇප ලබාගැනීම පිළිබඳ වහා පරීක්ෂණයක් පවත්වන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක මහත්මිය අද (30) නියෝග කළාය.

2005 වසරේදී නාවල චන්ද්‍රා වෙත්තසිංහ මාවතේ නිවසක් මිලදී ගැනීමට ඇන්ටනි රොහාන් මල්ලවආරච්චි නමැත්තකු පොළඹවා රුපියල් කෝටියක් ලබාගෙන වංචාවක් සිදු කළැයි විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබූ අතර අධිකරණ නිවාඩු සමය තුළදී රාජකාරී ආවරණය කළ විනිසුරුවරයකු ලවා දැඩි රෝගාතුර බව කියමින් ඔහු ඇප ලබාගෙන තිබිණි.

ඔහුට ඇප තැබීමට ඉදිරිපත්වූ හතර දෙනාගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය බාරයට ගැනිණි. ඇපකරුවන්ට විදේශ ගතවීම තහනම් කළ අතර නඩු විභාගයට ගන්නා සෑම දිනකම අධිකරණයේ පෙනී සිටින ලෙසත් ඔවුන්ට නියම කළාය. පද්මිණී රණවක ගුණතිලක විනිසුරුවරිය හමුවේ යළි නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප ලබාගැනීමට විත්තිකරු ඉදිරිපත් කළ කරුණු කෙරෙහි ඇතිවූ සැකයක් මත විත්තිකරුගේ රෝගී තත්ත්වය පරික්ෂා කරන ලෙස අධිකරණ වෛද්‍යවරයාට නියම කර ඇත.

ඒ අනුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා කළ පරික්ෂාවකදී විත්තිකරු පවසන තරම් රෝගී තත්ත්වයක් නැති බව හෙළිවී ඇත.

අධිකරණයට අසත්‍ය කරුණු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බව කී විනිසුරුවරිය විත්තිකරු ලබන මැයි 22 තෙක් රිමාන්ඩ් කළේය.