බොදු කොමසාරිස් මාධ්‍යවේදීන් පන්නයි


රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිළමේ තේරීමේ ඡන්ද විමසීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීහු බෞද්ධ කටයුතු කොමසාරිස් චන්ද්‍රසේන ගමගේ විසින් එළියට දමනු ලැබූහ.

එවැනි දෙයක් සිදුවූයේ බස්නායක නිළමේ තේරීමේ ඉතිහාසයේ මුල්වරටය. මොනරාගල දිසාපති කාර්යාලයට මාධ්‍යවේදීහු උදේම පැමිණ සිටියහ.

මාධ්‍යවේදීන් විරෝධය පළ කළද කොමසාරිස් පොලිසියට දැන්වූයේ ඔවුන් එළියට දමන ලෙසයි.

දැනට පවතින තත්ත්වය අනුව මහනුවර ව්‍යාපාරික ඩී.ජී.කුමාරගේ මහතාට බස්නායක නිළමේ වීමේ වැඩිවාසි ඇතැයි දැනගන්නට ඇත. කොටබෝව බස්නායක නිළමේ ටී.ජී.සරත් පෙරේරා ඔහුගේ නම යෝජනා කළේය.

කිරිවෙහෙර භාරකාර නිළමේ සිරිතිලක මහතා ඔහුගේ නම ස්ථිර කළේය.

යසසිරි කස්තුරිආරච්චි ඇතුළු සෙසු ප්‍රධාන අපේක්ෂකයන්ගේ නම් යෝජනා කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවීම නිසා ඔවුහු අපේක්ෂකත්වයෙන් ඉවත්වූහ.

තවත් අපේක්ෂකයන් සිව්දෙනකු සිටිතත් ඔවුන්ගේ නම් යෝජනා ස්ථිර කිරීමටද කිසිවකු නැති බව වාර්තාවේ.