පොහොට්ටුවේ පළමු රැළිය 9 වැනිදා


 (නාලක සංජීව දහනායක)
 
ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජය තහවුරු කිරීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරනු ලබන පළමු ජනරැළිය විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අනුරාධපුර සල්ගාදු ක‍්‍රීඩාංගණයේදී ලබන මස 9 වැනිදා පස්වරු 3.00ට පැවැත්වේ.
 
අනුරාධපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා විසින් මෙය සංවිධානය කරනු ලබයි. ඒකාබද්ධ විපක්‍ෂය ප‍්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන දේශපාලන පක්‍ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මේ සදහා සහභාගිවීමට නියමිතය.
 
එමෙන්ම ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ හා විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහත්වරුන් සහභාගිවන ජනරැළි දෙකක් සෑම දිස්ත‍්‍රික්කයකම පැවැත්වීමටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත. ඊට අමතරව ආසන මට්ටමින් කුඩා ජනරැළි මාලාවක් පැවැත්වීමටද ඔවුන් තීරණය කර ඇත.
 
ඊට අමතරව ලබන ලබන මස 1 වැනිදා සිට අවස්ථා තුනකදී ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමටද සැළසුම්කර තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙක් පැවැසීය.
 
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ලබන මස 15 වැනිදා කොළඹදී එළිදැක්වීමට නියමිත බවද එහි ප‍්‍රකාශකයෙක් කීය. මේ වනවිටත් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සකස් කිරීමේ අවසන් අදියරට ළගාවී තිබෙන බවද එම ප‍්‍රකාශකයා කීය.
 
විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහත්වරුන් වසර දෙකක් තිස්සේ කරන ලද සමීක්‍ෂණයකින් පසුව හඳුනාගත් ක්‍ෂේත‍්‍ර 29ක් ආවරණයවන පරිදි විද්වත් මණ්ඩලයක් මගින් මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සම්පාදනය කෙරනෙ බව ද හෙතෙම සදහන් කළේය.