පොසොන් දා රැදවියන් 173 කට නිදහස


(නිමන්ති රණසිංහ )

එළැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් රැඳවියන් 173 දෙනෙකු නිදහස් කිරීමට නියමිතව ඇතැයි අධිකරණ අමාත්‍යංශය පවසයි.

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාගේ නිර්දේශය අනුව මෙම පියවර ගෙන ඇතැයි එම අමාත්‍යාංශය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ දඩ දඬුවම අහෝසි කිරීම හේතුවෙන් බන්ධනාගාර ගත රැඳවියන් 141 දෙනකු ද, දින දාහතරක කාලයක් අඩුවීම හේතුවෙන් රඳවා සිටින රැදවියන් තිස් දෙදෙනකු ද මෙලෙස නිදහස ලැබීමට නියමිතව ඇති බව ය.

මෙලෙස නිදහස ලැබීමට නියමිත රැඳවියන් 23 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් වීමට නියමිතව ඇතැයි ද අමාතංශය පවසයි.

කුරුවිට, මහර, මීගමුව, වීරවිල වාරියපොල, බෝගම්බර, අනුරාධපුර, කළුතර, කොළඹ මැගසින් බන්ධනාගාරය, තල්දෙන,  වටරැක,  බදුල්ල, මාතර, අඟුණකොළපැලැස්ස, පොළොන්නරුව, කෑගල්ල, මඩකලපුව, මොණරාගල, පල්ලන්සේන, වවුනියාව, යාපනය,  ගාල්ල, පල්ලෙකැලේ සහ ත්‍රිකුණාමලය යන බන්ධනාගාරවලින් සෙසු රැඳවියන් නිදහස් කෙරෙනු ඇති බව ද එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයෙ සඳහන් කර ඇත.