පොලිස්පතිගේ විනය හොයන්න කොමිසමට බැරිලු


(තරිඳු ජයවර්ධන)
 
පොලිස්පතිවරයාගේ විනය සම්බන්ධ කාරණයක් ගැන විමර්ශනය කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාවට හැකියාවක් නැතැයි එහි ලේකම් ආරියදාස කුරේ මහතා පැවසීය.
 
පොලිස්පතිවරයා විසින් පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවකුගේ කමිස කොලරයෙන් ඇද බැණ වැදුනැයි කියන සිදුවීම සම්බන්ධයෙන් පොලිස් කොමිෂන් සභාවෙන් විමර්ශනයක් සිදු නොවන බව ද කුරේ මහතා කීවේය.
 
ජාතික පොලිස් කොමිෂන් සභාවට බලය ඇත්තේ පොලිස්පතිවරයා හැර සෙසු නිලධාරීන්ගේ විනය සම්බන්ධ ක්‍රියා ගැන සොයා බැලීමට බව ද ඒ මහතා සඳහන් කළේය.
 
පොලිස්පතිවරයා පත් කරනු ලබන්නේ ව්‍යවස්ථාදායක මණ්ඩලයේ අනුමැතිය මත ජනාධිපතිවරයා විසින් බවත්, පොලිස්පතිට චෝදනාපත්‍රයක් දීමට හෝ කොමිසමට බලයක් නැති බවත් ආරියදාස කුරේ මහතා කීවේය.
 
භාවනා නොකළැයි පොලිස්පතිවරයා විසින් පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවකුගේ කොළරයෙන් ඇද බැණ වැදුනැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්පතිට චෝදනා එල්ල වී තිබේ.