පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ගැන වාර්තාවක් ඉල්ලයි


(ඉන්දිකා රාමනායක)

අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ සමුහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිව සිටි   පොලිස් පරීක්ෂක ඒඩ්‍රියන් නිශාන්ත ද  සිල්වා මහතා කිසිදු අනුමැතියකින් තොරව    බිරිද හා දරුවන් සමඟ  ස්විට්සර්ලන්තයට  පලා යාම සම්බන්ධයෙන්  පොලිස් මුලස්ථානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද (25) පැවසීය.
 
 මෙම නිලධාරියාට   විරුද්ධව  කිසිදු  ආකාරයක  විමර්ශනයක් හෝ  විනය ක්‍රියාමාර්ගයක්  ආරම්භ කර නොමැති අවස්ථාවක  ඔහු මෙලෙස  විදේශ ගත වී ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
 
 පොලිස් නිලධාරියකු  රාජකාරි හෝ   පෞද්ගලික  කරුණක් අනුව  විදේශගත වන්නේනම්  ආරක්ෂක  අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය  ලබා ගැනීම අනිවාර්ය කරුණක් වුවද  මොහු විදේශ ගතවී ඇත්තේ එවැනි අනුමැතියකින් තොරව බවද   ගුණසේකර මහතා කියා සිටියේය.
 
 පසුගිය වසර  හතරක පමණ කාලයක සිට මෙම නිලධාරීයා  කළ   විමර්ශනයන්   පක්ෂග්‍රාහීව සිදුකර ඇති බවට  එම පාර්ශවයන්ගෙන් ඔහුට විරුද්ධව චෝදනා එල්ල ව තිබු බවත් එම චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වන ලෙසට නොයෙක් පාර්ශවයන්  ඉල්ලා  සිටින වාතාවරණයක් තුළ  මෙම නිලධාරියා මෙලෙස විදේශ ගත වී ඇති බවද ගුණසේකර මහතා   සඳහන් කළේය.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් නඩුව,  සන්ඬේ ලීඩර් පුවත්පතේ කර්තෘ  ලසන්ත විකමතුංග ඝාතන නඩුව,  මාධ්‍යවේදී කීර්ති නොයාර් මහතාගේ නඩුව, වසීම් තාජුඩීන්ගේ නඩුව,  යාපනය විද්‍යා දැරියගේ ඝාතන නඩුව,  තරුණයින් 11 දෙනා අතුරු කිරීමේ නඩුව,  කොටදෙණියාව සේයා   සදෙව්මි ඝාතන නඩුව,  ඩී ඒ රාජපක්ෂ  ස්මාරක  නඩුව, , ඔහු විසින් මෙහෙයවු  ප්‍රධාන නඩු  අතරින් කිහිපයකි.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක,   විශේෂ විමර්ශන කිහිපයක්  බාරව සිටි ස්ථානාධිපතිවරයකු මෙලෙස කිසිදු  අවසරයකින් තොරව  කටුනායක ගුවන්තොටුපොලින්  විදේශගත වීම බරපතල ගැටළුවක් බවත් ඒ සම්බන්ධයෙන්වහාම  පරීක්ෂණයක් පවත්වා කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙසට එහි අධ්‍යක්ෂවරයා වෙත  නියෝග කළ බවද රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
 ඒඩ්‍රියන්  නිශාන්ත  සිල්වා  නිලධාරියා   අනවසරයෙන් විදේශ ගතවීම විනය විරෝධී ක්‍රියාවක් බවත් එම ක්‍රියාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව  විනය ක්‍රියා මාර්ග ගැනීමට නියමිතව ඇති බවද රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.