පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා අවසරයකින් තොරව රට ගිහින්


(ඉන්දිකා රාමනායක  සහ ටී කේ ජී කපිල )
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  ශානි අබේසේකර මහතා සමඟ පරීක්ෂණ මෙහෙයවු එහි මිනිමැරුම් හා සමුහ මංකොල්ල විමර්ශන අංශයේ  ස්ථානාධිපතිව සිටි  පොලිස් පරීක්ෂක  නිශාන්ත  ද සිල්වා මහතා අද (24) පස්වරුවේ  බිරිද හා දරු තිදෙනා සමග හොර රහසේ ස්විස්ටර්ලන්තය බලා පිටත්ව ගොස් ඇති   බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
 
 දහවල් 12.50 ට  ඩබ්ලිව් කේ  0065   නැමැති යානයෙන් ඒ මහතා ඇතුලු පවුලේ පිරිස දිවයිනෙන්  පිටව ගොස් ඇති බවද උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
 
පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ   හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  ශානි අබේසේකර මහතා යටතේ  වසර කිහිපයක්ම සේවය කර ඇති අතර  , තරුණයින් 11 දෙනා අතුරු කිරීමේ නඩුව,  ලසන්ත වික්‍රමතුංග නඩුව, සේයා  සදෙව්මි ඝාතන නඩුව,  ඩී ඒ රාජපක්ෂ  සොහොන් කොත්  සම්බන්ධ නඩුව, යාපනයේ විද්‍යා දැරිය ඝාතන නඩුව, වැලිකඩ සිරකරුවන් ඝාතනය , ඔහු විසින් මෙහෙයවු  ප්‍රධාන නඩු  අතරින් කිහිපයකි.
 
 2018 නොවැම්බර් 18 මස    නිශාන්ත මහතාට මීගමුව කොට්ඨාසයට ස්ථාන මාරුවක් ලබා දී තිබු අතර පොලිස් කොමිසමේ මැදිහත් වීමෙන් එම ස්ථාන මාරුවීම අවලංගු කර තිබුණි.
 
 මෙම සිද්ධිය  පිළිබඳව  කළ විමසුමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  රුවන් ගුණසේකර සඳහන් කර සිටියේ  පොලීසියේ අවසරයකින් තොරව  නිශාන්ත ද සිල්වා මහතා රටින් පිටව ගොස් ඇති බවයි.