පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ කතාව


22 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ ආරම්භක උත්සවයට ඔබ සාදරයෙන් පිළිගනිමි. වේල්ස් කුමරුනි, කෝන්වෝල් ආදිපාදතුමියනි, රාජ්‍ය නායකවරුනි, විදේශ ඇමතිවරුනි, විදේශීය නියෝජිතයන්ගේ සම්භාවනීය ආර්යාවනි,  විශේෂ ආරාධිතයිනි, ශ‍්‍රී ලංකාවට පැමිණි ඔබ සැම පිළිගැනීම මට ඉමහත් සතුටකි.

පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකත්වය හොබවන දෙවන එළිසබෙත් මහ රැජිණ නියෝජනය කරමින් පැමිණි වේල්ස් කුමරුනි, ඔබ අප දේශයට ආගන්තුකයකු නොවේ. කුමරුනි, ඔබේ නාමයෙන් ඇති පදනම මෙරට සමාජ සංවර්ධන ව්‍යාපෘති ගණනාවකට අරමුදල් සම්පාදනය කර ඇත. ඔබතුමා අප රටේ කරන චාරිකාවේ දී අත්විදින සියළුම සොඳුරු මතකයන් සිය රට ගෙනයනු ඇතැයි මම විශ්වාස කරමි. මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව සාර්ථක කර ගැනීමට දුන් සහයෝගය පිළිබඳ ව  අදින් සිය සභාපති ධූරයෙන් ඉවත් ව යන  ඕස්ටේ‍්‍රලියාවේ සභාපතිතුමාට ස්තූතිවන්ත වෙමි.

මේ සමුළුව අප රටෙහි පැවැත්වීමට හැකිවීම ශ‍්‍රී ලංකාවට ඓතිහාසික අවස්ථාවක් වනවා, එමෙන් ම සමස්ථ ආසියාවට ම ගෞරවයක් වනවා. සමුළුව මෙලෙස ආසියාවේ පවත්වන්නේ 24 වසරකට පසුවයි. පොදුරාජ්‍ය මණ්ඩලයේ ආරම්භක සාමාජිකයන් 8 දෙනාට අයත් වන ශ‍්‍රී ලංකාවට මේ සමුළුවේ සත්කාරක දේශය වීමට ලැබීම ඉමහත් ගෞරවයක්. ශ‍්‍රී ලංකාවේ පශ්චාත් ගැටුම් යුගයේදී තිබූ සංකීර්ණ ප‍්‍රශ්නවලදී පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික ජාතීන් වන ඔබ සියළු දෙනා දැක් වූ සහාය ගැන මම කෘතඥ වෙමි.ඔබ මගේ රට කෙරෙහි දැක් වූ විශ්වාසය පොදුරාජ්‍ය මණ්ඩලයේ ජනතාවගේ උපරිම යහපතට හේතුවන ලෙස මෙම සංවිධානය මෙහෙයවීමට මට ලැබුණ සවියකි.

දශක තුනකට ආසන්න ත‍්‍රස්තවාදයේ ශාපය නිසා මගේ ජනතාවට දිගු කලක් අහිමිව තිබූ සාමය,  ස්ථාවරත්වය සහ අලූත් ආර්ථික ඉඩ ප‍්‍රස්ථා සහිත නව යුගයකට ශ‍්‍රී ලංකාව දැන් පිවිසෙමින් සිටී. 2009 දී ත‍්‍රස්තවාදය අවසන් කිරීමෙන් ශ්‍රේෂ්ඨතම මානව අයිතිය එනම් ජීවත්වීමට ඇති අයිතිය අපි සහතික කළෙමු. ගත වූ සිව් වසර තුළ ශ‍්‍රී ලංකාවේ කොතැනක හෝ ත‍්‍රස්තවාදයට සම්බන්ධ එකදු සිදුවීමක් හෝ නොවූ බව ප‍්‍රකාශ කරන්නේ මහත්වූ සතුටිනි. .
අපේ ජාතීහු අද සමාජ ආර්ථික අස්ථාවරත්වය නිසා උද්ගත බහුවිධ ගෝලීය අභියෝග රැසකට මුහුණපා සිටිති. අප කැමැත්තෙන් පිළිගෙන ඇති වටිනාකම් ආරක්‍ෂා කිරීම පිණිස මේ අභියෝග ඵලදායී ලෙස ජයගැනීමේ මාර්ග පොදුරාජ්‍ය මණ්ඩලයේ අපි සාමූහිකව හඳුනාගත යුත්තෙමු.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය නායක සමුළුවේ තේමාව ලෙස "සමානාත්මතාව සමඟ වර්ධනය - පරිපූර්ණ සංවර්ධනය"යන්න ශ‍්‍රී ලංකාව යෝජනා කළේ අපේ ජනතාවන්ගේ ජීවිත කෙරෙහි සෘජුව ම බලපාන්නා වූ වර්ධනය හා සංවර්ධනය සමග බැඳුණු දැවෙන ප‍්‍රශ්න නිරාකරණය හදිසි අවශ්‍යතාවක් ලෙස හඳුනාගත් බැවිනි.

මේ තේමාව සමස්ත පොදුරාජ්‍ය මණ්ඩලයට පෘථුල ලෙස අදාළ බව ත්, ධනය සහ ආර්ථික ප‍්‍රතිලාභ බෙදීයාමේ වත්මන් විෂමතා විශේෂයෙන් සළකන කල ආර්ථීක සංවර්ධනයෙහි සමානාත්මතාවට ඇති වැදගත්කම හුවා දක්වන බවත් අපි විශ්වාස කරන්නෙමු. පරිපූර්ණ සංවර්ධනය සමාජ ප‍්‍රගමනය ප‍්‍රවර්ධනය කරන අතර, සහශ‍්‍රක සංවර්ධන අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීමට දායක වෙයි.

වත්මන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිපත්ති න්‍යාය පත‍්‍රය වන ''මහින්ද චින්තන ඉදිරි දැක්ම'' ආර්ථික හා සමාජ ප‍්‍රතිලාභ සමාජයේ සෑම ස්ථරයකටම අත්වන බව සහතික කරමින් අපේ ජනතාවගේ ජීවනෝපාය වැඩි දියුණු කිරීමේ සහ විශේෂයෙන් ශ‍්‍රී ලංකාව ''ආසියාවේ ආශ්චර්යය'' බවට පත්කරනු වස් ඉදිරියට ගෙන යන්නා වූ නිශ්චිත උපායමාර්ග ඇතුළත් කොට ගනී. පහළ මධ්‍ය ආදායම් රටක් වුව ද ශ‍්‍රී ලංකාව සහශ‍්‍රක සංවර්ධන අභිමතාර්ථවලට ඇතුළත් සමාජ දර්ශක සමූහයක් සාක්ෂාත් කර ගැනීමට සමත්ව ඇති බව මා සඳහන් කරන්නේ සතුටිනි. 2007 දී 15.2% ක් වූ ශ‍්‍රී ලංකාවේ අන්ත දරිද්‍රතාව සහශ‍්‍රක අභිමතාර්ථවල මධ්‍ය ඉලක්ක ඉක්මවායමින් 2012 වනවිට 6.5% දක්වා පහත වැටිණ. අපේ ජනතාවගේ සියලූ අවශ්‍යතා සපුරාලන අතර, රජය පශ්චාත් ගැටුම් අවධියේ ප‍්‍රතිසංවර්ධනය හා ප‍්‍රතිසන්ධානය අරභයා පූර්ව ක‍්‍රියාකාරී ප‍්‍රවේශයක් ගත්තේ ය.

වේල්ස් කුමරුනි, සහෝදර රාජ්‍ය නායකයිනි, උතුමාණෙනි, මිතුරනි, දුෂ්කර අභියෝගයනට මුහුණ පා සිටින්නා වූ අප අපෙන් ම ප‍්‍රශ්න කිහිපයක් ඇසිය යුතු ය. පළමුව, මූලික පහසුකම්, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, ඵලදායී සේවා නියුක්තිය, ආහාර සහ සුරක්‍ෂිත පානීය ජලය ලබා ගැනීමේ පහසුව, දිළිඳුකම හා සාගින්න පිටුදැකීම, දේශපාලන වුවමනාවන් තරම් වැදගත් නැතැයි අපට යථාර්ථවාදීව ප‍්‍රකාශ කළ හැකිද? දෙවනුව, පොදුරාජ්‍ය මණ්ඩලය තම සාමාජිකයනට ආර්ථික ප‍්‍රතිලාභ නෙළා ගැනීමට හැකිවන පරිදි සංවර්ධන අභිමතාර්ථ ජය ගැනීම සඳහා සාමූහිකය ක‍්‍රියාකළ යුතු නොවන්නේද? තුන්වනුව, අප ''පොදු ධනය'' ගැන කථා කිරීමට පෙර ''පොදු දිළිඳුකම'' පිළිබඳ ගැටලුව විසඳීමට වඩාත් වෙහෙසී ක‍්‍රියා කළ යුතු නොවන්නේද?

පොදුරාජ්‍ය මණ්ඩලයේ අපි ප‍්‍රමුඛතාවක් සේ ගෙන අපේ සාමාජික ජාතීන්ගේ බහුතරය මුහුණපා සිටින සංවර්ධන අභියෝග කෙරෙහි අවධානය යොමු කළ යුතුය. පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉරණම මෙහෙයවන පිරිස ආර්ථික, සමාජ ගැටලු නිරාකරණය සඳහා ප‍්‍රායෝගික විධික‍්‍රම ගැන ගැඹුරින් කල්පනා කිරීමේ ප‍්‍රබල අවශ්‍යතාවක් ඇතැයි මම දකිමි.මෙය පොදුරාජ්‍ය මණ්ඩලයේ වටිනාකම සහ අදාළ බව බොහෝ සෙයින් වර්ධනය කිරීමට ඉවහල් වනු ඇත.ස්ත‍්‍රීන් සහ ළමයින්ගේ අභිවෘද්ධිය කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම අවශ්‍ය වෙයි. එසේ ම සන්නිවේදන තාක්‍ෂණයේ ශක්‍යතාව මෙන්ම අවදානම් පාර්ශවය කෙරෙහි ද දැනුවත් වී සිටීම ප‍්‍රමුඛ අවශ්‍යතාවකි. ආර්ථික ප‍්‍රමුඛතා මුල්තැන ගන්නා නමුදු අපේ ජාතීන් සතු ශ්‍රේෂ්ඨතම ධනය ජනතාව බව අප අමතක නොකළ යුතු ය. මානව ප‍්‍රාග්ධනයේ ගුණාත්මක අගය ශක්තිමත් කිරීම ධරණීය වර්ධනය අත්කර ගැනීම රටවලට උපකාරී වෙයි. පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් ජාතීන් ඇතුළත වඩා පුළුල් ජනතා සම්බන්ධතා මෙන් ම පොදුරාජ්‍ය මණ්ඩලයේ පරමාර්ථ අපේ ජනතාවන්ගේ ඉතා දුරස්ථ කණ්ඩායම් වෙත ගෙන යාම ද එක සේ වැදගත් ය.

2013 පොදුරාජ්‍ය මණ්ඩලීය නායක හමුව සංවර්ධන අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීමෙහිලා පොදුරාජ්‍ය මණ්ඩලය ලබා ඇති ප‍්‍රගතිය තක්සේරු කිරීමට අපට අවස්ථාව සලසා දෙයි. පොදුරාජ්‍ය මණ්ඩලය සාමාජික රටවලට අදාළ ආයතනයක් ලෙස දිගටම පැවතීමට නම් සංවිධානය දඬුවම් දෙන හෝ තීන්දු දෙන මෙවලමක් බවට පත් වීමට ඉඩ නොදී සිය ජනතාවන්ගේ අවශ්‍යතාවනට සංවේදී ලෙස ප‍්‍රතිචාර දැක්විය යුතු ය.පොදුරාජ්‍ය මණ්ඩලයේ සම්ප‍්‍රදායන් සහ ඒකමතිකභාවය විකෘති කරමින් බහුපාර්ශ්වීය න්‍යාය පත‍්‍ර සංවිධානයට හඳුන්වාදීමට එරෙහිව අප සාමූහිකව ක‍්‍රියා කළ යුතු ය. සංවිධානයේ ශක්තිය රැඳී තිබෙනුයේ හවුල්කාරීත්වයේ ජීවගුණයෙන් යුතුව එකිනෙකාට උපකාර කිරීමෙන් සාමාජික රටවල් එකට තබා ගැනීමෙනි. පොදුරාජ්‍ය මණ්ඩලයේ සුවිශේෂ ආයතනයක් වනුයේ එවිට ය.උතුමනි, අප කොළඹ දී කරන සාකච්ඡා පිළියම් නිර්දේශ කරන හා භේදකාරී එකක් වෙනුවට හවුල්කාරිත්වයෙන්, සහයෝගයෙන් සහ එක්සත්භාවයෙන් සළකුණු වූ අලූත් පොදුරාජ්‍ය මණ්ඩලයක ජනතාවන් උදෙසා  වැඩිම ප‍්‍රායෝගික ප‍්‍රතිලාභ අත්කර දීමට ඉවහල් විය යුතු ය.

සංවිධානයේ සියලූ සාමාජිකයන් පිළිගන්නා වූ වටිනාකම් සහ අභිලාසයන් ඇතුළත් පොදුරාජ්‍ය මණ්ඩලයීය ප‍්‍රඥප්තිය පසුගිය දෙසැම්බරයේ අනුමත කර ගන්නා ලදී. අප දැන් නව යුගයක් උදාකරමින් සිටින නිසා ත්, ශ‍්‍රී ලංකාවේ ජනයා අදහන සියලූ ආගම් උතුම් මානව වටිනාකම් සුරකින ලෙස උගන්වන නිසා ත් වත්මන් ශ‍්‍රී ලංකාවේ අපට ඒවායේ අඛණ්ඩ වලංගුතාවක් පවතී. අවසාන වශයෙන් බුදුන් වහන්සේගේ ධර්ම පාඨයක් උපුටා දැක්වීමට කැමැත්තෙමි.

''න පරේසං විලෝමානි - න පරේසං කතාකතං
අත්තනෝව අවෙක්ඛෙය්‍ය - කතානි අකතානිච''

''අනුන්ගේ රළු පරළු කථා ත්, අනුන් කළ නොකළ දේත් නො සෙවිය යුතු ය. තමා ගේ ම කළ නොකළ දේ සෙවිය යුතු ය''

ඵලදායී සහ නිර්මාණශීලී සංවාදයක් අපේක්‍ෂා කරමින්, අප රටේ රැඳී සිටින කාලය ඔබ සියලූ දෙනාට සොඳුරු හා ආශ්වාදජනක වේවා යි මම ප‍්‍රාර්ථනා කරමි.