(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමට 2016 වසරේදී පැමිණිලි 133ක් ලැබී ඇතැයි එම කොමිසමේ 2016 වාර්ෂික වාර්තාව සඳහන් කරයි.
එම පැමිණිලි 133න් පැමිණිලි 84ක් ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ ක්‍රියාපටිපාටියට අදාළ වලංගු පැමිණිලි බව එම කොමිසමේ 2016 වාර්ෂික වාර්තාව ප්‍රකාශයට පත් කරමින් කොමිසමේ ප්‍රධාන විධායක නිලධාරී සුකුමාර් රොක්වුඞ් මහතා පැවැසීය.
කොළඹ නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේ පැවැති ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ වාර්ෂික මහ සභා රැස්වීමේදී 2016 වාර්ෂික වාර්තාව ප්‍රකාශයට පත් කරන ලදි.
වලංගු පැමිණිලි 84න් පැමිණිලි 29ක් සම්බන්ධයෙන් පාඨක අයිතිය තහවුරු කරමින් කතුවරුන් පුවත්පත්වල කරුණු පැහැදිලි කිරීම්, නිවැරැදි කිරීම් සහ කනගාටුව පළ කිරීම යනාදි පියවර ගෙන තිබේ.
රොක්වුඞ් මහතා මෙසේ ද කීය.
“ලැබී තිබෙන පැමිණිවලින් වැඩිපුර පැමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබෙන්නේ රටේ පුවත්පත්වලින් 37.20%ක් ප්‍රතිශතයකට හිමිකම් කියන සිංහල පුවත්පත් සම්බන්ධයෙනුයි. මේ පැමිණිලි සඳහා කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා කතෘවරුන්ගේ පූර්ණ සහයෝගය ලැබුණා.
අගතියට පත් පාර්ශවවලට ‘පාඨක අයිතිය’ ලබාදෙමින් කතෘවරුන් සෘජුවම පැමිණිලි 317ක් විසඳාගෙන තිබෙනවා” යැයි හෙතෙම කීය.
පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් නිහාල් සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතු එම කොමිසමේ ආරවුල් නිරාකරණ මණ්ඩලය පැමිණිලි විභාග කිරීම සඳහා හත්වරක් රැස්වී ඇතැයි වාර්ෂික වාර්තාව සඳහන් කරයි.
ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම ප්‍රකාශකයන්, කතෘවරුන්, අංශ ප්‍රධානීන්, උප කතෘවරුන් සහ මාධ්‍යවේදීන්/වාර්තාකරුවන් සමඟ රැස්වීම් 27ක් පවත්වා තිබේ.

