(සිතුම් චතුරංග)
මුලතිව්, පුදුකුඩිඉරිප්පු, සුගන්ධිපුරම් ප්‍රදේශයේ වගා ඉඩමක තිබි කිලෝ 20 ක් පමණ බරැති ක්ලේමෝ බෝම්බ 8ක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද (29) සොයාගත් බව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය කියයි.
වගා කටයුත්තක් සඳහා ඉඩමේ හිමිකරු විසින් බිම් සකස් කරන අවස්ථාවේ පොළව අභ්‍යන්තරයේ තිබූ කිසියම් උපකරණ කිහිපයක් හමුවී ඇති අතර එය පරීක්ෂා කිරීමේදී පුපුරණ ද්‍රව්‍ය හමුවී ඇති බව පොලිසිය සඳහන් කළේය.
පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ පොලිසිය දැනුවත් කොට ඇති අතර එහිදි පුදුකුඩිරිප්පු පොලිසිය විසින් සිදුකළ පරීක්ෂා කිරීමේදී ක්ලේමෝ බෝම්බ ඇතුළු තවත් පුපුරණ ද්‍රව්‍ය සොයාගත් බව පැවසීය.
හමුවූ පුපුරණ ද්‍රව්‍ය අතර සෙන්ටිමීටර 30 ක් දිගැති හා සෙන්ටිමීටර 15 ක් පමණ පළලැති කිලෝ 20 ක පමණ බරින්යුත් ක්ලේමෝ බෝම්බ අටක්, බෝම්බ පිපිරීමට යොදාගන්නා ඩෙටනේටර් 50 ක් හා බෝම්බ පිපිරීමට යොදාගන්නා වයර් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය මෙහි තිබී සොයාගත් බවද පොලිසිය පැවසීය.
අදාල ස්ථානය පිළිබඳ විශේෂ පරීක්ෂාවකට ලක්කළ බවද පොලිසිය පැවසීය.
පොලිසිය පැවසුවේ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් ක්ලේමෝ බෝම්බ ගොඩගෙන අධිකරණ නියෝග යටතේ නිශ්ක්‍රීය කිරීම සිදුකළ බවයි.
ක්ලේමෝ බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය අවසන් යුද සමයේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් නැවත භාවිතාවට ගැනීමේ අරමුණින් මෙලෙස සඟවා තබන්නට ඇති බව පොලිසිය සැකපලකරන අතර සොයාගත් පුපුරණ ද්‍රව්‍ය දැඩි ලෙස දිරාපත්ව තිබූ බවද පොලිසිය කීය.
පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

