පාසල් සිසුන්ට මත්පුවක් විකිණූ 8ක් අත්අඩංගුවට


(මහේෂ් කීර්තිරත්න)
 
මාතලේ සහ උකුවෙල නගර  අවට ප්‍රදේශවල පාසල් සිසුන්ට බාබුල් සහ මාවා පුවක් විකුණු වෙළඳසැල් රාශියක් වටලා සැකකරුවන් අටදෙනෙකු  අද(01) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
රුපියල් ලක්ෂ පහක පමණ මත්පුවක් කිලෝ 27කට අධික ප්‍රමාණයක් සැකකරුවන් සමඟ පොලිසිය බාරයට ගෙන ඇත.
 
මත්පුවක් විකිණූ වෙළඳසැල් හිමිකරුවන් සහ ඒවායේ සේවය කරන්නන් අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව පොලිසිය පවසයි.
 
මාතලේ මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගන්නා ලදී.
 
මාතලේ නගරයේ අඹගහ බස්නැවතුම්පොළ අසළ, නුගගහ බස්නැවතුම්පොළ අසළ, රෝස වීදිය, ගොංගාවල බස්නැවතුම්පොළ, ධර්මපාල මාවත යන ස්ථානවල කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය මත් පුවක් වෙළඳසැල් කිහිපය වටලා ඇති බව පොලිසිය කියයි.
 
මෙම මත් පුවක් විකුණන බවත් මෙය මර්දනය කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත් උසස් පොලිස් නිලධාරීයෙක් කියයි.
 
සැකකරුවන් මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.