පාසල් රග්බි අවසන් තරගයෙන් පසු දෙපිරිසක් ගැටී යුද පිටියක් වෙයි


පාසල් රග්බි සංගමය සංවිධානය කළ මයිලෝ ‘සභාපති’ කුසලාන වයස 20 න් පහළ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල සහ ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි විදුහල අතර රත්මලාන ගුවන් හමුදා රග්බි පිටියේදී ඊයේ (16 වැනිදා) පැවැති අවසන් මහ තරගයෙන් පසු දෙපිරිසක් අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවක් නිසා ක‍්‍රීඩාංගණය යුද පිටියක් වූ බව වාර්තා වේ. මෙම තරගයෙන් ශාන්ත ජෝන් විදුහල ලකුණු 22 - 20 ක තියුණු ජයක් ලැබීමෙන් පසු පේ‍්‍රක්‍ෂකයන් පිරිසක් ක‍්‍රීඩාංගණය තුළදී විනිසුරුට පහරදීමට ගත් උත්සාහය සංවිධාකයන් වලක්වා තිබේ. ඉන් පසුව එම පිරිස ශාන්ත ජෝන් විදුහල් ක‍්‍රීඩකයන්ට පහරදී ඇති අතර පසුව ක‍්‍රීඩාංගණය යුද පිටියක් බවට පත්වූ බව වාර්තා වේ. තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලලිත් ඇතුළත්මුදලි විදුහල ලකුණු 20 - 10 ක් ලෙස පෙරමුණේ පසුවිය. සභාපති කුසලාන අවසන් තරගය පස්වරු 4.15 ට පමණ අවසන් වුවද ගැටුම හේතුවෙන් දෙවැනි තරගය ලෙස මොරටුව වේල්ස් කුමර විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර එම ක‍්‍රීඩාගංණයේදීම පැවැති ‘අගමැති’ කුසලාන අවසන් මහ තරගය ආරම්භ කිරීම විනාඩි 40 කින් පමණ ප‍්‍රමාද වී තිබේ. අයහපත් අලෝක තත්ත්වය නිසා එම තරගය පස්වරු 6.10 ට පමණ අත්හිටුවීමට සිදුවිය. අදුර හේතුවෙන් අත්හිටුවන විට තරගය විනාඩි 70 ක් පවත්වා තිබූ අතර ඒ වන විට වේල්ස් කුමර විදුහල ලකුණු 5 - 3 ක් ලෙස පෙරමුණේ පසුවිය. තරග නීති රීතිවලට අනුව වේල්ස් කුමර විදුහලට ජය පිරිනැමීමට පියවර ගත්බව මේ පිළිබඳව කළ විමසුමකදී පාසල් රග්බි සංගමයේ නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය. එම තරගය සම්පූර්ණ කාලය නොපැවැත්වීම පිළිබඳව ආනන්ද විදුහල දැඩි විරෝධය පළ කළ අතර ඒ අවස්ථාවේදී ද දැඩි උණුසුම්කාරි තත්ත්වයක් ඇති වූ බව වාර්තාවේ. ආනන්ද විදුහල අනු ශූරතා කුසලාන ලබාගැනීම ප‍්‍රතික්ෂේප කරමින් පිටව ගිය බව ද වැඩි දුරටත් වාර්තාවේ.