පාර්ලිමේන්තුව වාර අවසන් කරයි


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුව ( නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය) අද (28)  මධ්‍යම රාත්‍රියේ සිට වාර අවසාන කෙරෙයි.

වාර අවසාන කිරීමට අදාළ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රී නිකුත් කෙරිණි.

වාර අවසාන කෙරුණු  පාර්ලිමේන්තුව ගැසට් නිවේදනයේ  දැක්වෙන අන්දමට  ජනපතිවරයා විසින්  උත්සවාකාරයෙන් නැවත විවෘත කෙරෙන්නේ ලබන මස 3  වැනිදා බදාදාය.

පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත්  කරනු ඇත.

නව ජනාධිපතිවරයකු පත් වූ පසු පාර්ලිමේන්තුව වාරඅවසාන කර උත්සවාකාරයෙන් විවෘත කිරීම  සාමාන්‍ය සම්ප්‍රදායක් බව පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවැසීය.

පාර්ලිමේන්තුව  වාර අවසාන කිරීමත් සමගම එහි කෝප්, කෝපා ඇතුළු   කමිටු 50 කට වැඩි සංඛ්‍යාවක් අහෝසිවී ගියේය. එම කමිටු සක්‍රියවීමට නම් ඒවායේ  සාමාජිකයන් පත්කර නැවතත් පිහිටවනු ලැබිය යුතු වෙයි.