(සුජිත් හේවාජූලිගේ)
පාර්ලිමේන්තු සංකීර්ණය අවට මාර්ග නවයක ප්‍රචාරක දැන්වීම් පුවරු මසක් ඇතුළත ඉවත් කරගන්නැයි නාගරික සංවර්ධන අධිකාරිය අදාළ ආයතනවලට දැනුම් දී ඇත.
දැන්වීම් පුවරු නියමිත කාලසීමාවේදී ඉවත් කර නොගතහොත් කිසිදු දැනුම්දීමක් නොකර ඒවා ඉවත් කරන බවට ද ඒ ආයතනවලට දන්වා තිබේ.
මෙසේ දැන්වීම් පුවරු ඉවත් කීරිමට ඇති මාර්ග 9 මෙසේය.
බොරැල්ල සිට පාර්ලිමේන්තුව දක්වා මාර්ගය (කොල්ලුපිටිය-ශ්‍රී ජයවර්ධනපුර අතර)
පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයට සමාන්තර මාර්ගය
කොටා පාර
ජපන් මිත්‍රත්ව මාර්ගය (කිඹුලාවල හන්දිය දක්වා)
සුනිල් මාවත (පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය)
තලවතුගොඩ-පිටකෝට්ටේ කිඹුලාවල මංසන්ධිය දක්වා
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත
පොල්දූව මංසන්ධියේ සිට බත්තරමුල්ල මංසන්ධිය දක්වා (කෝට්ටේ-බෝපේ මාර්ගය)
බත්තරමුල්ල මංසන්ධියේ සිට පාලම්තුන හන්දිය දක්වා (බත්තරමුල්ල-පන්නිපිටිය මාර්ගය)
මෙම මාර්ග පාර්ලිමේන්තුව අවට අලංකරණය කළ යුතු මාර්ග ලෙස හඳුනාගෙන ඇති හෙයින් මාර්ගයන්හි අලංකරණය උදෙසා දැන්වීම් පුවරු මෙලෙස ඉවත් කිරීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
මේ අනුව ඉහත මාර්ගයන්හි මාර්ග රක්ෂිත, ගොඩනැගිලි සීමාව, ඇළ රක්ෂිත, ගොඩනැගිලි මත හා අදාළ පරිශ්‍රයන්ට ප්‍රවේශ වන මාර්ගයට මුහුණලා පවතින සියලුම දැන්වීම් පුවරු ඉවත් කෙරෙන බවද සඳහන් කරයි.