පාදෙණියට එරෙහි පෙත්සම කල් යයි


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

මාලබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අධිකරණයට අපාහාසයක් සිදු කරන ලදැයි කියමින් ගොනු කළ පෙත්සම ලබන සැප්තැම්බර් 08 වැනි දා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (02) තීන්දු කළේය.

පෙත්සම සම්බන්ධයෙන් වන මූලික විරෝධතා සම්බන්ධයෙන් වන ලිඛිත දේශන එදිනට ගොනු කරන ලෙස අධිකරණය පෙත්සම්කරුවන්ට හා වගඋත්තරකරුවන්ට දැනුම් දෙන ලදී.

සයිටම් ආයතනය ලබා දෙන වෛද්‍ය උපාධිය ලබාගත් සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත්දා ලබා දුන් තීන්දුව පාදෙණිය මහතා විසින් විවේචනය කිරීම හේතුවෙන් අභියාචනාධිකරණ අධිකාරි බලය හෑල්ලූවකට ලක් කර ඇතැයි සඳහන් කරමින් ඒ පිළිබඳ විභාගයක් පවත්වා ඔහුට සුදුසු දඩුවමක් නියම කරන ලෙස  ඉල්ලා සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් දෙදෙනෙකු අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සම  සලකා බැලූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දෙන ලදී.

පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු එල්.ටී.බී දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් යුත් විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවිණි.

සාධාරණ සමාජයක් උදෙසා වන ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු වන මහාචාර්ය සරත් විජේසූරිය සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ මහත්වරුන් විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා නම් කරනු ලැබ සිටියි.