ප්‍රියාංකා ගාන්ධිගේ ලේලි අවීවා බායිග්


ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන ‘කොංග්‍රස්’ පක්ෂය නියෝජනය කරන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ද වන ප්‍රියංකා ගාන්ධිගේ පුතු රයිහාන් වද්‍රා, ඔහුගේ දිගු කාලීන පෙම්වතිය අවීවා බායිග් සමඟ විවාහ ගිවිසගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රියංකා ගාන්ධි, ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකා සෝනියා ගාන්ධිගේ දියණියයි. රාහුල් ගාන්ධිගේ සොහොයුරියයි.
රයිහාන් වද්‍රා යනු ප්‍රියංකා ගාන්ධිගේත්, ඇගේ සැමියා රොබට් වද්‍රාගේත් පුත්‍රයාය. රොබට් වද්‍රා ප්‍රකට ව්‍යාපාරිකයෙකි. 

25 හැවිරිදි රයිහාන් වද්‍රා දේශපාලනයට සම්බන්ධ නොවන අතර, ඔහු වෘත්තීය ඡායාරූප ශිල්පියකු ලෙස කටයුතු කරයි. ඔහු නවදිල්ලි අගනුවර ඡායාරූප ප්‍රදර්ශන කීපයක් ද පවත්වා ඇත.

රයිහාන් වද්‍රා දේශපාලනයට සම්බන්ධ අයකු නොවූවත්, ඔහුගේ විවාහ ගිවිස ගැනිම මේ වනවිට කාගේත් අවධානය යොමු වී ඇත. ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට රයිහාන් වද්‍රා සහ අවීවා බායිග්ගේ ප්‍රේම සම්බන්ධය වසර 10 කට වැඩිය.

අවීවා බායිග් ද වෘත්තීය ඡායාරූප ශිල්පිනියකි. ඇය ජනමාධ්‍ය පිළිබඳ පාඨමාලාවක් ද හදාරා ඇත. රයිහාන් වද්‍රා මෙන්ම, අවීවා බායිග් නවදිල්ලියේ පදිංචිකාරියකි. ප්‍රියංකාගේ පවුලේ අය සහ අවීවා බායිග්ගේ පවුලේ අය අතරේ සමීප හිතවත්කමක් ද පවතින බව වාර්තා වේ.