ප්‍රශ්න පත්‍ර පිටවීම ගැන ගම්පහ පොලිසිය පරීක්ෂණ අරඹයි


( තිලකරත්න දිසානායක.)

අධ්‍යයන පොදු සහතික පත්‍ර ( උසස් පෙළ ) විභාගයේ රසායන විද්‍යාව 2 ප්‍රශ්න පත්‍රය  සෙනසුරාදා (19) ලිවීම අවසන් වු පසුව එම ප්‍රශ්න පත්‍රයෙහි තිබු ප්‍රශ්න කිහිපයක් සහිත අත් පත්‍රිකාවක් ගම්පහ ප්‍රධාන පාසලක් අසලදී බෙදා හැරීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.

දිවයිනෙහි ප්‍රදේශ ගණනාවකදීම රසායන විද්‍යා විෂය සම්බන්ධයෙන් උපකාරක පන්ති පවත්වන බව සදහන් කරමින් රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයෙහි ප්‍රශ්න කිහිපයක් සහිතව උපකාරක පන්ති ගූරුවරයෙකු බව කියන පුද්ගලයෙකු විසින් මෙම අත් පත්‍රිකාව බෙදා හැරීමට පියවර ගෙන ඇති බව විභාගයට පෙනී සිසූහු පවසති.

විභාගය අවසන් වු සැණින් මෙලෙස ප්‍රශ්න පත්‍රයෙහි තිබු ප්‍රශ්න කිහිපයක් සහිත පත්‍රිකාවක් ලබාදීම සම්බන්ධයෙන් මව් පියන් පිරිසක් විසින් විභාග දෙපාර්තමේත්තුවට දැනුම් දී ඇති අතර මේ අනුව පොලිස් මුලස්ථානය වෙත කරන ලද පැමිණිල්ලක් මත පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව කරන ලද විමසුමකට පිළිතුරු දෙමින් ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතා පැවසීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ලංකා ගූරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවේ විභාගය අවසන් වු සැණින් මෙලෙස ප්‍රශ්න සහිත අත් පත්‍රිකාවක් බෙදා හැරීමට නම් අදාල පුද්ගලයාට විභාගයට කළින් ප්‍රශ්න ලැබී තිබිය යුතු බවත් මෙය බරපතල ගැටළුවක් බැවින් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්ය.