පළාත් පාලන නියෝජිත සංඛ්‍යාව දෙගුණ වෙයි


(ඩයනා උදයංගනී)

නව මැතිවරණ ක‍්‍රමය අනුව ලබන පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන නියෝජිතයින් ප‍්‍රමාණය දෙගුණයකින් වැඩි වන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

දැනට සකස් කර ඇති පළාත් පාලන පනත් කෙටුම්පත අනුව පළාත් පාලන ආයතන නියෝජිතයින් ප‍්‍රමාණය 8,400ක් දක්වා වර්ධනය වන අතර එය දැනට සිටින ප‍්‍රමාණය මෙන් දෙගුණයකට ආසන්න බව ද ඒ මහතා කියයි.

එම ප‍්‍රමාණය තව දුරටත් අඩු කරගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අදහස වී තිබුණත්, එසේ කරන්නට ගියහොත් මැතිවරණය සඳහා තවත් කාලය ගතවන බැවින් දැනට සකස් කර ඇති ක‍්‍රමවේදයට එකඟ වන බව අමරවීර මහතා කියයි..

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.