පලාලි ඉඩම් පෙත්සම විසිවෙයි


තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ  

පලාලි ගුවන්තොටුපළ පුළුල් කිරීමේ අරමුණින් එම ප්‍රදේශයේ ඉඩම් පවරා ගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ගෝඨාභය රාජපක්ෂ , වත්මන් ආරක්ෂක ලේකම් ඇතුළු සය දෙනෙකුට එරෙහිව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගය කළේය.

අධිකරණය පෙත්සම නිෂ්ප්‍රභ කළේ පෙත්සම්කරු තම මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට අපොහොසත් වීමේ පදනම මතය.

කන්තූර්මඩම්,අර්යාඩ් පාරෙහි අංක 105 දරණ ස්ථානයේ පදිංචි නඩරාජා ගුණසේකරම් මහතා විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස එවකට සිටි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ , වත්මන් ආරක්ෂක ලේකම් , හමුදාපති , තිලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් ඇතුළු හයදෙනෙකු නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරු යාපනයේ තයිඅඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.ඔහු එම ප්‍රදේශයේ ඔහුගේ බිරිඳ සමඟ පදිංචි වී සිටියි.1990 වසරේ සිට සිදු වූ හමුදා මෙහෙයුම් හේතුවෙන් පෙත්සම්කරුද විවිධ ප්‍රදේශ වලත් ,සරණාගත කඳවුරු වලත් වාසය කළේය. ඔවුන් සමඟ එම ප්‍රදේශයේ පුද්ගලයින් තුන්දහසක් පමණ මෙම ඉරණමට භාජනය වු බව පෙත්සමේ සඳහන් වේ.

රජය විසින් හදිසි අවස්ථා රෙගුලාසි ඉවත් කළ පසුත් ,එම ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපය ලෙස සැලකූ බවත් ,එය නීතියට පටහැනි බවත් පෙත්සම්කරු කියා තිබිණි.

මෙම පෙත්සමට විරෝධතා ගොනු කරමින් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ යුද උපක්‍රමික ස්ථානයක් වශයෙන් වැදගත් පලාලි ගුවන් තොටුපළ දීර්ඝ කිරීමේ කාර්යය හැටියට මෙම ඉඩම් ලබා දුන් බවත් ,එම කාර්යයන් සිදු කළේ යහපත් චේතනාවෙන් සහ ඉඩම් නීතියට සහ අදාළ ව්‍යවස්ථාපිත රෙගුලාසි වලට අනුකූලව ලෙසින් බවත්ය.