පර්පචුවල් සමාගමේ ණය ප්‍රශ්නයකට පෑන් ඒෂියා බැංකුවෙන් උපකාර පැතුවා


(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

2016 වසරේදී පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම ණය ප්‍රශ්නයකට මුහුණ පෑ අවස්ථාවේ දී  ඔවුන් පෑන් ඒෂියා බැංකුවෙන් උපකාර පැතුවා.

මෙම මුදල් මුදාහැරීම සම්බන්ධයෙන් පෑන් ඒෂියා බැංකුවේ හිටපු සභාපති නිමල් පෙරේරා මහතා මා සමඟ කතා කළ විට මෙවැනි විශාල මුදලක් මුදාහැරීමේ ඇති අවදානම පිළිබඳව මා ඔහුට කිව්වා මාගේ රැකියාව අහිමි වුවත් මා මෙවැනි විශාල මුදලක් මුදා හරින්නේ නැහැ කියා.

මා නිමල් පෙරේරා මහතාට පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් මහතා ඉදිරිපිටදීම කිව්වා යැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් පෑන් ඒෂියා බැංකුවේ ප්‍රාථමික ගැණුම්කරුවන්ගේ ඒකකයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අරුණ බෙනඩික් ඩයස් මහතා පැවසීය.

ණය මුදල් පියවා ගැනීමේ උත්සාහයක නිරතව සිටි අර්ජුන් ඇලෝසියස් මහතා ඒ පිළිබඳව තමන්ට පැහැදිලි කර ණය මුදල් පියවා ගැනීමට  උදව් කරන ලෙස මගෙන් ඉල්ලා සිටියා යැයි කී බෙනඩික් ඩයස් මහතා පෑන් ඒෂියා බැංකුවේ හිටපු සභාපති නිමල් පෙරේරා මහතාට ඇත්තේ ගෙයක් නොවේ මාළිගාවක් යැයි ද එහි ඉහළ තට්ටුවලට යෑමට තරප්පු පෙළවල් වෙනුවට ඇත්තේ විදුලි සෝපාන යැයි ද කීය.

2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන් පෑන් එෂියා බැංකුවේ ප්‍රාථමික ගැණුම්කරුවන්ගේ ඒකකයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (භාණ්ඩාගාර) අරුණ බෙනඩික් ඩයස් මහතා මෙසේද කීය.

2010 ජුනි මාසයේ සිට මා පෑන් ඒෂියා බැංකුවේ ප්‍රාථමික ගැණුම්කරුවන්ගේ ඒකකයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (භාණ්ඩාගාර) ලෙස සේවය කරනවා. 2015 පෙබරවාරී මස සිට 2016 මාර්තු මාසය අතර කාලයේදීත් මා එම තනතුරේ සේවය කළා.


ප්‍රශ්නය:  මෙම කොමිසමේ සාක්කි දීම සඳහා ඔබට යමෙක් බලපෑම් කළාද?
පිළිතුර: ඔව්.


ප්‍රශ්නය:  ඔහු කවුද?
පිළිතුර: පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් මහතා.


ප්‍රශ්නය:  ඔහු ඔබට බලපෑම් කළේ ඇයි?
පිළිතුර: පෑන් ඒෂියා බැංකුව සම්බන්ධයෙන් විද්‍යුත් නාලිකාවක ගිය ප්‍රවෘත්තියකින් පස්සේ.


ප්‍රශ්නය:  ඔබ අර්ජුන් ඇලෝසියස් දන්නවාද?
පිළිතුර. ඔව්. මා ඔහු හඳුනාගත්තේ පෑන් ඒෂියා බැංකුවේ හිටපු සභාපති නිමල් පෙරේරා මහතා මගින්. ‘පර්පචුවල් ටේ‍රෂරීස්’ සමාගම සේවක අර්ථ සාධක අරමුදලලේ බැඳුම්කර විකීණීමට යනවා. ඊට සහයෝගය දෙන්න’ කියලා පෑන් ඒෂියා බැංකුවේ හිටපු සභාපති නිමල් පෙරේරා මහතා මට කිව්වා. ඒ වේලාවේදී තමයි මා අර්ජුන් ඇලෝසියස් මහතා හඳුනාගත්තේ. එම සාකච්ඡාවල දී ‘පර්පචුවල් ටේ‍රෂරීස්’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතාත් හමුවුණා.


ප්‍රශ්නය:  ඔවුන් දෙදෙනාත් ඔබත් අතර සමීප සබඳතාවක් තිබුණ ද?
පිළිතුර: සමීප සබඳතාවක් නැහැ.


ප්‍රශ්නය:  ඔවුන් සමඟ ගනුදෙනු කළේ ප්‍රාථමික වෙළෙඳ පොළේද? ද්වීතීයික වෙළෙඳ පොළේද?
පිළිතුර: ද්වීතීයික වෙළෙඳ පොළේ.


ප්‍රශ්නය:   එම ගනුදෙනුවල මිල, කාලය, තීරණය කරන්නේ කවුද?
පිළිතුර: පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා.


ප්‍රශ්නය:  2015 පෙබරවාරී 27 වැනිදා පැවැත්වු බැඳුම්කර වෙන්දේසියේදී පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම වෙනුවෙන් සමාගම් වෙනුවෙන් බැඳුම්කර මිලදී ගත්තා නේද?
පිළිතුර: ඔව්.


ප්‍රශ්නය:  මෙම ගනුදෙනුවලට පෑන් ඒෂියා බැංකුව සම්බන්ධ වුණේ අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පළිසේන යන මහත්වරුන්ගේ උපදෙස් මතද?
පිළිතුර: ඔව්.


ප්‍රශ්නය:   සේවක අර්ථ සාධක අරමුදල් සම්බන්ධයෙන් කටයුතු කළේ සමන් තුෂාරද?
පිළිතුර: ඔව්.


ප්‍රශ්නය:   2016 මාර්තු 29 වැනිදා සහ 2016 අගොස්තු 30 වැනිදා අතර කාලයේ පැවැත් වූ වෙන්දේසිවල දී පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම එක්දින ද්‍රවශීලතා ණය පිළිබඳ ප්‍රශ්නයකට මුහුණ පෑවා නේද?
පිළිතුර: ඔව්.


ප්‍රශ්නය:  ඒ පිළිබඳ පෑන් ඒෂියා බැංකුවෙන් උපකාර පැතුවාද?
පිළිතුර: මේ පිළිබඳව පෑන් ඒෂියා බැංකුවේ එවකට හිටපු සභාපති නිමල් පෙරේරා මහතා මේ සඳහා මුදල් මුදා හැරීම සම්බන්ධව මා සමඟ කතා කළා. මෙහි ඇති අවදානම පිළිබඳව මා පෙරේරා මහතාට කිව්වා.


ප්‍රශ්නය:  වේලාවේ ඔබ තවත් යමක් කීවාද?
පිළිතුර. මෙවැනි විශාල මුදලක් මුදා හැරීමේ ඇති අවදානම පිළිබඳව මා ඔහුට පැහැදිලි කළා. මාගේ රැකියාව අහිමි වුවත් මා මේ දේ කරන්නේ නැහැ කියා මා නිමල් පෙරේරා මහතාට කිව්වා.


ප්‍රශ්නය:  මේ සාකච්ඡාව සිදු කළේ කොහේදී ද?
පිළිතුර: පෑන් ඒෂියා බැංකුවේ එවකට හිටපු සභාපති නිමල් පෙරේරා මහතාගේ නිවසේදී.


ප්‍රශ්නය:  මේ සාකච්ඡාව සඳහා වෙන කවුරුන්ද සහභාගී වුණේ?
පිළිතුර: අර්ජුන් ඇලෝසියස් මහතා.


ප්‍රශ්නය:  අර්ජුන් ඇලෝසියස් මහතා එහිදී මොනවද කිව්වේ?
පිළිතුර: ණය මුදල් පියවා ගැනීමට උදව් ලබා ගැනීමේ උත්සාහයක ඔවුන් නිරත වී සිටියා. අර්ජුන් ඇලෝසියස් මහතා මා සමඟ විදුලි සෝපානයෙන් පහළට එන විට මට කතා කර ණය මුදල් පියවා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව මට පැහැදිලි කළා. ඒ සඳහා ඔවුන්ට උදව් කරන ලෙස මගෙන් ඉල්ලා සිටියා.

විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා. ගෙදරක තියෙන්නේ තරප්පු පෙළවල්නේ. විදුලි සෝපාන තියෙන්නේ කොහොමද?

අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා. ඒක ගෙයක් නොවේ මාළිගාවක්.


ප්‍රශ්නය:  එම සාකච්ඡාවේ කසුන් පිළිසේන මහතා හිටියද?
පිළිතුර: මට හරියටම මතක නැහැ.


ප්‍රශ්නය:  පසුව අර්ජුන් ඇලෝසියස් ඔබව දුරකථනයෙන් ඇමතුවාද?
පිළිතුර: ඔව්. ඔහු ජංගම දුරකථනයෙන් ඇමතුවා.


ප්‍රශ්නය:  පෑන් ඒෂියා බැංකුව පිළිබඳ විද්‍යුත් නාළිකාවක ප්‍රවෘත්ති විකාශය වූ පසුව අර්ජුන් ඇලෝසියස් මහතා ඔබට මුණ ගැසුණා ද?
පිළිතුර: ඔව්. පසුගිය 30 වැනිදා අර්ජුන් ඇලෝසියස් මහතා ඔහුගේ ගෙදර එන්න කියලා මට දැනුම් දුන්නා.


ප්‍රශ්නය:  අර්ජුන් ඇලෝසියස් මහතාගේ ගෙදර තියෙන්නේ කොහේද?
පිළිතුර: කොළඹ 07. ෆ්ලවර් පාරේ.


ප්‍රශ්නය:  අර්ජුන් ඇලෝසියස් මහතාගේ ගෙදර එන්න කියලා කළ දැනුම් දීමට අනුව ඔබ එහි ගියාද?
පිළිතුර: ඔව්. මා එහි ගියේ පළමු වතාවටයි. එහි සිටි ආරක්‍ෂක නිලධාරීයකු මා අර්ජුන් ඇලෝසියස් මහතා ළඟට රැගෙන ගියා.


ප්‍රශ්නය: එහි ගිය පසු අර්ජුන් ඇලෝසියස් මහතා ඔබට මොනවාද කිව්වේ?
පිළිතුර: මට වාඩිවෙන්න කියලා, තේ කෝප්පයක් දෙන්න ද කියා විමසුවා. මා කිව්වා මට වතුර වීදුරුවක් දෙන්න කියලා.


ප්‍රශ්නය:  ඉන් පසුව ඔහු මොනවත් කිව්වද?
පිළිතුර: පෑන් ඒෂියා බැංකුව පිළිබඳ විද්‍යුත් නාළිකාවක ප්‍රවෘත්ති විකාශය වු පසුව අර්ජුන් ඇලෝසියස් මහතා හිටියේ අසතුටින්. මෙම ගනුදෙනු වලදී අපේ බැංකුව කටයුතු කළේ අතරමැදියෙකු හැටියට කියලා ඇලෝසියස් මහතා කීවා. බැංකුවේ අධිපති වෙන්න මා ඔබට උදව් කරන්නම් කියලත් මාගේ කොම්පැණියේ රැකියාවක් දෙන්නම් කියලත් ඔහු කීවා.


ප්‍රශ්නය:  අර්ජුන් ඇලෝසියස් මහතාගේ ප්‍රතිවාරය කෙසේද?
පිළිතුර: අර්ජුන් ඇලෝසියස් මහතා පුදුමයට පත් වී සිටියා. කොමිසමේ ඊළඟ සති දෙක තීරණාත්මකයි. ඔබගේ උදව් මට ඕනෑ කියලා අර්ජුන් ඇලෝසියස් මහතා මට කීවා.


ප්‍රශ්නය:  ඇයි ඔබ නිමල් පෙරේරා මහතා හමුවීමට ගියේ?
පිළිතුර: මේ වන විට මාගේ රැකියාව අහිමි වීමේ අවදානමකට මුහුණු දී තිබූ නිසා මගේ රැකියාවේ තත්ත්වය පිළිබඳ දැනගැනීමටයි නිමල් පෙරේරා මහතා හමුවීමට ගියේ.


ප්‍රශ්නය:  නිමල් පෙරේරා මහතා ඔබට මොනවාද කිව්වේ?
පිළිතුර: මගේ තැරැව්කාර සමාගමක් තියෙනවා. ඒකේ රස්සාව දෙන්නම් කියලා නිමල් පෙරේරා මහතා කිව්වා.


ප්‍රශ්නය:  ඊට පසුව අර්ජුන් ඇලොසියස් මහතා ඔබට කෝල් කළාද?
පිළිතුර: ඔව්. මට තුන් පාරක් කොල් කළා. ඔහු මාව නවත්වන්න උත්සාහ කරන බව මා දැනගත්තා. ඒ නිසා මා උත්තරයන් දුන්නේ නැහැ.


ප්‍රශ්නය:  අර්ජුන් ඇලොසියස් මහතා ඔබට කෝල් කළේ කීයට ද?
පිළිතුර: 2017 ජුලි මස 03 වැනිදා පස්වරු 9.12ට හා 2017 ජුලි මස 04 වැනිදායි.


ප්‍රශ්නය:   නිමල් පෙරේරා මහතාත් ඔබට කෝල් කළාද?
පිළිතුර: ඔව්.


ප්‍රශ්නය:  ඒ කවදාද?
පිළිතුර: මෙම කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදුන් පසු.


ප්‍රශ්නය:   ඒ කියන්නේ මෙහි සාක්කි දීමට පෙරද?
පිළිතුර: ඔව්.


මේ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා අදාළ දුරකථන ඇමතුම්වලට අදාළ තොරතුරු සඳහන් වාර්තාවක ඡායාපිටපතක් කොමිසමට ඉදිරිපත් කළේය.

විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා: නිමල් පෙරේරා මහතාගේ පිටපතේ ඔටුන්නක් තියෙනවා. ඒක රාජකීය ඔටුන්නක්.

අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා: නිමල් පෙරේරා මහතා ජීවත් වෙන්නේ ගෙදරක නෙමේ මාළිගාවකනේ.

මේ අවස්ථාවේදී කොමිසම ඇමතූ කොමිසමේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා: මෙම දුරකථන ඇමතුම් මගින් සාක්කිකරුට බලපෑම් කිරීමේ අපරාධයක් කර ඇත්දැයි සොයා බලන ලෙසත් ඒ සම්බන්ධයෙන්  සොයා  බලා පියවර ගන්නා ලෙසත් දැනුම් දුන්නේය. එයට පිළිතුරු දෙමින් කොමිසම ඇමතූ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා මේ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බව දැනුම් දුන්නේය.

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා මේ අවස්ථාවේ දී සාක්කරුගේ අවධානය 2016 පෙබරවාරී 16 වැනිදා පෑන් ඒෂියා බැංකුවේ අම්බලන්ගොඩ ශාඛාවේ කළමනාකරු වෙත යැවු විද්‍යුත් තැපැල් ලිපිනයක් පිළිබඳව යොමු කළේය.


ප්‍රශ්නය:  මෙම විද්‍යුත් ලිපිය මගින් සේවක අර්ථ සාධක අරමුදලේ සමන් කුමාරගේ රුපියල් බිලියන 15ක ණයක් පිළිබඳව විමසා තියෙනවා නේද?
පිළිතුර: ඔව්. සමන් කුමාර පිළිබඳව විස්තර විමසා තියෙනවා.


ප්‍රශ්නය: මුලකුරු සමග සමන් කුමාරගේ නම කුමක්ද?
පිළිතුර: බී.අයි.ඇස්.එච්. සමන් කුමාර.


ප්‍රශ්නය: සමන් කුමාර නමැත්තාට වෙනත් ව්‍යාපාර තියෙනවාද?
පිළිතුර: ඔව්. ඔහුගේ මූලිකත්වයෙන් කන්ටි්‍ර කිෂන් කිචන් කන්ෂෙක්ෂනරීස් සමාගම කියලා ව්‍යාපාරයක් තියෙනවා. ඒ සඳහා වාර දෙකකදී රුපියල් මිලියන 15ක් හා 10ක් වාර දෙකක දී පෑන් ඒෂියා බැංකුවෙන් ණය ලබාගෙන තියෙනවා.


ප්‍රශ්නය: විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා:  මේ සමාගමේ අධ්‍යක්‍ෂකවරුන් කී දෙනෙක් ඉන්නවාද?
පිළිතුර: හතර දෙනෙක්.


ප්‍රශ්නය: විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා:  ඔවුන් කවුරුන්ද?
පිළිතුර: සමන් කුමාර මහතා. ඔහුගේ බිරිය සහ තවත් ඔහුගේ ඥතීන් දෙදෙනෙක්.


ප්‍රශ්නය: විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා:  මේ සමාගම මෙහෙයවමින් මූලිකව කටයුතු කරන්නේ කවුද?
පිළිතුර: සමන් කුමාර මහතා.


ප්‍රශ්නය:  රෝයල් සෙරමික් ආයනනය මෙම ව්‍යාපාරයට ඉඩ පහසුකම් සලසා දී තියෙනවා නේද?
පිළිතුර: ඔව්.


ප්‍රශ්නය:  රෝයල් සෙරමික් ආයනනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ කවුද?
පිළිතුර: නිමල් පෙරේරා මහතා.


ප්‍රශ්නය:  එතකොට පෑන් ඒෂියා බැංකුවේ සභාපති කවුද?
පිළිතුර: නිමල් පෙරේරා මහතා.


ප්‍රශ්නය:  ඒ කාලේ සමන් කුමාර සේවය කළේ කොහේද?
පිළිතුර: සේවක අර්ථ සාධක අරමුදලේ.


ප්‍රශ්නය:  නිමල් පෙරේරා මහතා සහ සමන් කුමාර මහතා හොඳ මිතුරන්ද?
පිළිතුර: මා දන්නේ නැහැ.


මේ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා පෑන් ඒෂියා බැංකුව මෙම අතරමැදි ගනුදෙනු සම්බන්ධයෙන් මහා බැංකුවේ ‘ලංකා සෙට්‍රල්’ පද්ධතියෙන් ලබාගත් තොරතුරු පිළිබඳව සාක්කිකරුගේ අවධානය යොමු කරමින් ඒ පිළිබඳව විමසීය.
වැඩිදුර සාක්කි විමසීම සිදු කෙරේ.

මෙම කොමිසමේ කටයුතු සඳහා අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක  මහතා, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී මහත්මිය, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නයෝමී වික්‍රමසේකර මහත්මිය, රජයේ නීතීඥ  ධනුෂන් කනේෂයෝගන් මහතා සමග  අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා සාක්කි මෙහෙයවමින් කොමිසමේ කටයුතු සඳහා සහය ලබා දෙයි.
පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම වෙනුවෙන් නීතීඥ නෙරංජන් අරූල්ප්‍රගාසම් මහතා සහ නීතීඥ රොමාලි තුඩාවේ මහත්මිය සමග ජනාධිපති නීතීඥ නිහාල් ප්‍රනාන්දු මහතා ද භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සඳහා පත්කළ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති පී. සමරසිරි මහතා වෙනුවෙන්  නීතීඥ ශනිල් පෙරේරා සහ නතාෂා නුර්දීන් මහත්මිය සමග නීතීඥ හර්ෂ  ප්‍රනාන්දු මහතා ද ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් නීතීඥ චානක ද සිල්වා මහතාද කොමිසම හමුවේ පෙනී සිටියහ.