මැයි මාසයේ 7 වැනිදා පැවැත්වෙන බ්‍රිතාන්‍ය මහා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු දැනටමත් ඉතා උණුසුම් තත්වයක් ගෙන ඇත.
පක්ෂ නායකයින්ගේ හෝ ඡන්ද අපේක්ෂකයින්ගේ සිනහමුසු මුහුණු රැගත් දැවැන්ත කටවුට් හෝ පෝස්ටර් මෙන්ම සංවිධානාත්මකව එක් රැස්කරගන්නා ආධාරකරුවෝ දහස් ගණනින් රැස්වෙන දැවැන්ත ප්‍රචාරක රැලි වැනි දේශපාලන ප්‍රචාරක සම්ප්‍රදායක් නොමැති එංගලන්තයේ දේශපාලන ප්‍රචාරය මුලික වශයෙන්ම කෙරෙන්නේ මාධ්‍ය මගින් මෙන්ම තැපැල් මාර්ගයෙනි. ආධාරකරුවෝ දොරින් දොරට ගොස් ඡන්ද ප්‍රචාරයේ ද යෙදෙති.
මෙවන් පසුබිමක් යටතේ සිංහල හින්දු අලුත් අවුරුද්ද යොදා ගනිමින් ඡන්ද ප්‍රචාරයක් ගෙනයාමට කොන්සර්වේටිව් සහ කම්කරු පක්ෂ නායකයෝ ක්‍රියා කරති.
මෙවර මැතිවරණදී කොන්සර්වේටිව් පක්ෂයෙන් සිංහල තරුණියක් සහ කම්කරු පක්ෂයෙන් ශ්‍රී ලාංකික දෙමළ තරුණියක් ද වෙන් වෙන් ආසන සඳහා තරග වදිති.
තරග වැද සිටින ප්‍රධාන පක්ෂ දෙක වන පාලන බලය හිමි කොන්සර්වේටිව් සහ විරුද්ධ පක්ෂයේ වැඩි බලයක් හිමි කම්කරු පක්ෂ කරට කර සිටින බව සියලුම නිරීක්ෂණ වාර්තා දක්වා ඇති පසුබිමක එම පක්ෂ දෙකම ඡන්ද දායකයින්ගේ ආකර්ශනය දිනා ගැනීම සඳහා විවිධාකාරයේ උපක්‍රම යොදා ගනිමින් සිය ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇත.
මෙහිදී කොන්සර්වේටිව් නායක අගමැති ඩේවිඩ් කැමරන් " සිංහල සහ දෙමළ" අවුරුද්ද වෙනුවෙන් සුබ පතා නිවේදනයක් නිකුත් කළ අතර එහි ලුහුඬු පණිවිඩයක් සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ ජංගම දුරකථනයන්ට කෙටි පණිවිඩයක් ලෙස යවනු ලැබිය.
මේ අතර කම්කරු පක්ෂ නායකයා වන එඩ්වර්ඩ් මිලිබෑන්ඩ් අවුරුදු සුභපැතුමක් නිකුත් කළේ වීඩියෝ මාර්ගයෙනි. එම සුබපැතුමෙහි ඔහු පවසන්නේ "දෙමළ ජනතාව වෙත" අවුරුදු සුබ පැතුම් ගෙන එන බවයි. " කම්කරු පක්ෂය සැමවිටම දෙමළ ප්‍රජාවගේ මිතුරෙකු" වන බවද එම පණිවිඩයෙන් ඔහු පවසයි. ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ලන්ඩනයට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සිදු වූ බවට චෝදනා එල්ල වන යුද අපරාධ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ බව පවසන මිලිබෑන්ඩ්, එම චෝදනා පිළිබඳව "පූර්ණ හා ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා " තව දුරටත් බලපෑම් කරන බවත් දෙමළ ජනතාවගේ අරමුණ වෙනුවෙන් තමා සහ කම්කරු පක්ෂය දිගටම කතා කරන බවත් කියයි.
ඔහුගේ මෙම පක්ෂග්‍රාහී ප්‍රකාශය පිළිබඳව බ්‍රිතාන්‍යයේ ජිවත්වන ශ්‍රී ලාංකික මුස්ලිම් සහ සිංහල පිරිස් දැඩි විරෝධතාවයක් දක්වා ඇත.
"මෙහිදී දෙමළ ජනතාව යනුවෙන් ඔහු අදහස් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව මිස ඉන්දියාවේ අය නොවන බවද මෙය හුදෙක් එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ ඡන්දය ලබාගැනීම උදෙසා සිදුකළ උප්පර වැට්ටියක්" බවද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක්සත් රාජධානියේ සිංහල සංගමයේ සභාපති ඩග්ලස් වික්‍රමරත්න කියයි.
කම්කරු පක්ෂයෙන් මැතිවරණය සඳහා උතුරු ඉල්ඵඩ් ආසනයෙන් ඉදිරිපත්වී ඇති ලී ස්කොට් ද අවුරුදු පණිවිඩයක් නිකුත් කරමින් "දෙමළ ජනතාව" වෙත අවුරුදු සුබ පැතුම් ගෙන එන බව පවසා ඇත.
ලී ස්කොට් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට අසාධාරණයක් සිදුවන බවට නිතර දෙවේලේ චෝදනා නඟන මන්ත්‍රීවරයෙකි. ඔහුගේ මැතිවරණ කොට්ඨාශයේ ශ්‍රී ලාංකික දෙමළ ඡන්ද දායකයින් විශාල සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බවද කියවේ.
කම්කරු පක්ෂයේ මෙම ප්‍රතිපත්තිය තරයේ හෙලා දකින බව කියන ඩග්ලස් වික්‍රමරත්න මිට පෙර අවස්ථාවක ලන්ඩන් නගරාධිපති තේරීම සඳහා පැවති මැතිවරණයේදී කම්කරු පක්ෂයෙන් ඉදිරිපත්වූ කෙන් ලිවින්ස්ටන් ද මේ අයුරින්ම දෙමළ ජනතාව වෙත පොරොන්දු දෙමින් ඔවුන්ගේ ඡන්දය ලබාගැනීමට කටයුතු කළ ආකාරය සිහිපත් කර දුන්නේය.
එහිදී ලිවින්ස්ටන් පැවසු එක් පොරොන්දුවක් වුයේ දෙමළ කණ්ඩායම් වෙත ඔවුන්ගේ සංස්කෘතික සංදර්ශන පැවැත්වීම සඳහා ලන්ඩන් නගරයේ ලෝ පතල " ට්‍රපල්ගා චතුරශ්‍රය" නොමිලයේ ලබාදීමට කටයුතු කරන බවයි.
එම අවස්ථාවේදී ලන්ඩනයේ වෙසෙන සිංහල සහ ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව එම ප්‍රකාශන පිළිබඳව විරෝධය පළකළ අතර කොන්සර්වේටිව් අපේක්ෂකයාවූ බොරිස් ජොන්ස්ටන් දිනවීම සඳහා කටයුතු කළ බවද වික්‍රමරත්න පැවසිය.
බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයේ සභාපති ජනක අලහප්පෙරුම මිලිබෑන්ඩ්ගේ ප්‍රකාශය "තනිකර දේශපාලන වාසි තකා සිදුකළ එකක්" බවද එය "තරයේම හෙළ දකින" බවද පවසයි.
එංගලන්තයේ ජීවත්වන දෙමළ ජනතාව බොහෝ දෙනා පුර්ණ කාලිනව දේශපාලනයෙහි නිරත වනවා. ඔවුන් ප්‍රධාන පක්ෂ දෙකේම නියෝජිතයින් සමඟ ගනුදෙනු කරනවා. අප බොහෝ කාලයක සිට මෙම මන්ත්‍රීන් හමුවී මේ පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමට කටයුතු කළා. මට මතකයි අපි වරක් කොටි හිතවාදීන් සමඟ කටයුතු කළ බවට චෝදනා එල්ලවූ ලෙස්ටර් පාර්ලිමේන්තු මන්ත්‍රී කීත් වාස්ගේ නිවසට ගොස් විරෝධතාවයක් පැවැත්වුවා. ඒ අවස්ථාවේදී අපි ඉදිරිපත් කල සංදේශය බාර ගැනීමට ඔහුගේ නිවසේ සිට අප හමුවීම සඳහා පැමිණියේ මන්ත්‍රී වරයාගේ නිවසේ සේවය කළ ශ්‍රී ලාංකික දෙමළ තරුණයෙක්. මේකයි අද එංගලන්තයේ එල්ටීටීඊ හිතවාදීන් ඉන්නා තැන" යනුවෙන්ද ඔහු කියයි.
"අපි කටයුතු කරන්නේ මේ සියලුම දේ පිළිබඳව හොඳින් දැනගෙනයි. අපේ වැඩකටයුතු නවත්වන්නේ නැහැ.මෙවර බ්‍රිතාන්‍ය මැතිවරණයේදීත් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ සැබෑ තත්ත්වය පිළිබඳව අපි හැම පක්ෂයකම නායකයින් සහ නියෝජිතයින් දැනුවත් කිරීමට කටයුතු කර තියෙනවා. මේවා අපි ආරම්භ කළේ අද ඊයේ නොවේ." අලහප්පෙරුම පවසයි.
උපතින් යුදෙව් ජාතිකයෙකු වන එඩ්වර්ඩ් මිලිබෑන්ඩ් පසුගිය දිනෙක තමන් ආගම් වාදියෙකු නොවන බව පෙන්වීමට යුදෙව් ආගමේ තහනම් සුකර මාංශ ඇතුළත් කෑමක් ආහාරයට ගත් අවස්ථාව පිළිබඳ බ්‍රිතාන්‍ය ජන මාධ්‍ය විශාල ප්‍රචාරයක් ලබාදී තිබුණි. ඡන්දයක් වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සමහරුන් සුදානම් බව ඇතැමෙක් කීහ.



