(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
බැඳුම්කර කොමිසමේ සාක්කි දෙන අවස්ථාවේදී හිටපු විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් ප‍්‍රශ්න කළ විලාසය පිළිබඳ සඳහන් කරමින් නීතීපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඇඟිල්ල දිගු කිරීම සහ ඔවුන් උදහසට ලක් කිරීම වැරදි ක‍්‍රියාවක් බවත් පිටස්තර පුද්ගලයින් කොමිසමේ කටයුතු සම්බන්ධයෙන් කතා කිරීම කොමිසමට අපහාස කිරීමක් බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ උදය රෝහාන් ද සිල්වා මහතා පැවසීය.
බැඳුම්කර කොමිසමේ සිදුවු බව කියමින් ඇතැම් සිදුවීම් පිළිබඳව යම් යම් පුද්ගලයින් විවිධ අදහස් ජනගත කිරීම මඟින් නීතීපති දෙපාර්තමෙන්තුව කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය පලූදු කිරීමට උත්සහ දරන බවක් පෙනෙන්නට ඇතැයිද දුෂණ ක‍්‍රියාවන් සම්බන්ධයෙන් නම් හෙළි වුවන් මෙමඟින් නීතීයේ ආධිපත්‍යයට හා එහි ස්වාධීනත්වයට පහර දීමට උත්සහ කරන බවක් පෙනෙන්නට ඇතැයිද වැඩිදුරටත් පැවසු සිල්වා මහතා අධිකරණ අමාත්‍යවරයාගේ අවශ්‍යතාවය මත අපරාධ චෝදනා ලැබු දේශපාලනඥයින් ගැන හෙළි වු ෆයිල් 50ක් හංගාගෙන සිටි බව පැවසීම මඟින් ඒ බව වඩාත් තහවුරු වන්නේ යැයිද පැවසීය.
‘‘කොමිසමක හෝ අධිකරණයක පැමිණිල්ල මෙහෙයවීමේ වගකීම පැවරෙන්නේ නීතීපති දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් මතයි. පැමිණිල්ල මෙහෙයවා තොරතුරු හෙළි කර ගැනීම සඳහා අධිකරණය හෝ කොමිසම හමුවට පැමිණෙන සාක්කිකරුවන්ගෙන් සාක්කි විමසිය යුතුයි. එලෙස සාක්කි හෙළි කර ගැනීම සඳහා සාක්කිකරුවන්ගෙන් ප‍්‍රශ්න අසන්නේ නීතීපති දෙපාර්තමෙන්තුවේ නිලධාරියාට ආවේනික ක‍්‍රමයකට අනුවයි. එහි යම් යම් දුරවලතාවයන් තියෙනවා නම් ඒවා නිවැරදි කිරීමට එහි විනිසුරුවරුන්ට හැකියාව සහ බලය තියෙනවා. අධිකරණය හෝ කොමිසම හමුවේ ප‍්‍රශ්න කරන ආකාරය තීරණය කළ යුත්තේ අදාළ අධිකරණය හෝ කොමිසමයි‘‘ යැයි ද ඔහු කීය.

